හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ මාස 22ක කාලයේ ඔහු උපදේශකවරු 39 දෙනෙක්, සම්බන්ධීකරණ ලේකම්වරු 23ක් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය 1199ක් සිටි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (15) ප්‍රකාශ කළේය.
එම උපදේශකයන් අතර සිටි සාගර රත්නායක රුපියල් ලක්ෂ 75ක්ද, අකිල විරාජ් කාරියවසම් රුපියල් ලක්ෂ 40ක්ද, ආශු මාරසිංහ රුපියල් ලක්ෂ 34ක්ද, රෝසි සේනානායක රුපියල් ලක්ෂ 07ක්ද වශයෙන් මේ කාලයේ දීමනා ලබාගෙන ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
වඩිවේල් සුරේෂ්, මනූෂ නානායක්කාර, දිනේෂ් දොඩංගොඩ ද හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයන් ලෙස කටයුතු කර ඇති බවද ඇමැතිවරයා කීය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිටින්නේ උපදේශකවරු පස් දෙනෙක්, සම්බන්ධීකරණ ලේකම්වරු එක් අයෙක් පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය. ආචාර්ය හාන්ස් විජේරත්න, මහාචාර්ය ගෝමික, උඩුගම, දුමින්ද හුලංගමුව, ජේ.එම්. විජේබණ්ඩාර , චන්දන සූරිය බණ්ඩාර මේ උපදේශකයන් 05 දෙනා කිසිම දීමනාවක් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් සේවයේ නිරතව සිටින බවත් ඔවුන් ක්ෂේත්රයේ ප්‍රවීණයන් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 – 2024 කාලයේ විදේශ සංචාර 24ක නිරතව ඇති අතර එම සංචාර සඳහා රුපියල් මිලියන 1,007.346ක් වැයකර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
ඇමැති නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේ 2026 වසර සඳහා වන අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය ඇතුළු ආයතන 25ක වැය ශීර්ෂ සම්බන්ධයෙන් මේ විවාදය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා, හිටපු ජනාධිපතිවරයා සිදුකර ඇති මේ සංචාරවලට 2022 දී රුපියල් මිලියන 129.31ක් , 2023 දී රුපියල් මිලියන 577.9ක් ,සහ 2024 දී රුපියල් මිලියන 300ක් වශයෙන් වැය කර ඇති බව ද පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට වෙනස්ව, 2024 දෙසැම්බර් සිට 2025 සැප්තැම්බර් දක්වා විදේශ සංචාර අටක් සිදු කර ඇති අතර, එම සංචාරවලට වියදම් කර ඇත්තේ ඉතා අවම වශයෙන් බව ද හෙතෙම පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සංචාර ඉන්දියාව, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, ජර්මනිය, මාලදිවයින සහ එක්සත් ජනපද – ජපාන සංචාරය වශයෙන් සිදුකර ඇති අතර ඒ සඳහා මුළු වියදම ලෙස රුපියල් මිලියන 14.9ක් වැය වී ඇති බව ඇමැති නලින්ද ජයතිස්ස පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 වසරේ දෙසැම්බර්වලදී කළ ඉන්දියානු සංචාරයට රුපියල් මිලියන 1.2 ක්, 2025 සිදුකළ චීන සංචාරය සඳහා රුපියල් මිලියන 0.8 ක්,එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සංචාරය සඳහා මිලියන 0.5 ක්, වියට්නාම සංචාරය සඳහා මිලියන 1.9 ක්, ජර්මනියේ සිදුකළ සංචාරය සඳහා රුපියල් මිලියන 04ක්, මාලදිවයිනේ සිදුකළ සංචාරය සඳහා මිලියන 0.7ක්, එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතීමට හා ඒ සමඟ කළ ජපාන සංචාරයට මිලියන 5.5 ක් වශයෙන් වැය කරමින් සංචාර අටටම රුපියල් මිලියන 15.9 ක් වැය කර ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ සංචාර හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ විදෙස් සංචාර සැසඳිය යුතු අතර, ඒ සා විශාල මුදලක් වැය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා රටට ගෙනාවේ මොනවාදැයි ප්‍රශ්න කළයුතු බව ද හෙතෙම පැවසීය.
අද වනවිට එවැනි අනවශ්‍ය සියලු වියදම් කපා හරිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අඩුවෙන් වියදම් කරමින්, යහපත් මූල්‍ය කළමනාකරණයක් පවත්වා ගනිමින් යහපත් ආණ්ඩුකරණයක් රටට ලබාදී ඇති බව ද ඇමැතිවරයා පැවසීය.
ජනාධිපති වැය ශීර්ෂය ගත් කල හිටපු ජනාධිපතිවරයාගේ 2024 වසරේ මුල් මාස නවයේ පුනරාවර්තන වියදම් ලෙස වියදම රුපියල් මිලියන 715 ක් වැය කර ඇති අතර වත්මන් ජනාධිපතිවරයාගේ මේ වසරේ මුල් මාස නවයේ වියදම රුපියල් මිලියන 279ක් බව ද ඇමැතිවරයා පැවසීය.ඒ අනුව රුපියල් මිලියන 435කින් ජනාධිපතිවරයාගේ වියදම අඩු කර ඇති බව ද ඇමැතිවරයා කීය. බලයේ සිටි ජනාධිපතිවරුන්ට විවිධ මට්ටමින් උපදේශකවරු ඇතුළු නිලධාරීන් සිටි අතර ආසන්නම ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උපදේශකවරු 39ක් සිටි බවත් ඒ සියලු දෙනා නඩත්තු කළේ රජයෙන් බව ද සඳහන් කළේය.
එම උපදේශකවරුන්ට අමතරව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරුන් 23 දෙනකු ද සිටි බව සිහිපත් කළේය.වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උපදේශකයන් පස්දෙනකු සිටින අතර, ඒ සියලු දෙනා රට ගැන සිතා ස්වේච්ඡාවෙන් කටයුතු කරන අතර වත්මන් ජනාධිපතිවරයා ආදර්ශයෙන්ම යහපත් ආණ්ඩුකරණයක් පෙන්වා දී ඇතැයි ද පැවසීය.
හිටපු ජනාධිපතිවරයාගේ වකවානුවේදී ජනාධිපති උපදේශකවරුන්ගේ වැටුප්, කාර්ය මණ්ඩලය එදා සහ අද සංසන්දනාත්මකව ඉදිරිපත් කරමින් අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.
Òපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙනදාට වඩා වැඩ පැවරී තිබුණා. මාස දෙකකට වැඩි කාලයක් මේ අය-වැය වෙනුවෙන් මහන්සි වුණා. 850ක් පමණ වන කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ වෘත්තීයභාවය ආරක්ෂා කිරීමට ගන්නා පියවර අගය කරනවා. මේ කාර්ය මණ්ඩලයට අමතරව තවත් 450ක් පමණ කාර්ය මණ්ඩලය ඉන්නවා. අපි පසුගිය කාලයේ වැඩි පනත් ප්‍රමාණයක් සම්මත කර නැහැ. 2015 වසරේ පනත් 15ක් වෙනවා. 2025 වසරේ දී පනත් 22ක්. ආණ්ඩුවක් කාර්ය භාරගෙන අලුත් සැලසුමක් යටතේ කටයුතු කරගෙන යනවා. 2000න් මෙහා ඕනෑම ආණ්ඩුවක් සම්මත කරගත් පනත් අතරින් වැඩිම පනත් සංඛ්‍යාවක් සම්මත කර තිබෙන්නේ අපේ ආණ්ඩුවයි. 2024 වසරේ දී පනත් විශාල ප්‍රමාණයක් සම්මත කරගෙන තිබෙන බව කියනවා. 2015 වසරත් එක්ක නොවෙයි සංසන්දනය කළේ. ස්වාධීන කොමිෂන් සභා නිසියාකාරව කටයුතු කරනවා. නමුත් එම කොමිෂන් සභා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. ස්වාධීන කොමිෂන් සභා එක්තරා අවධියක දී සියලු දේශපාලන කණ්ඩායම් විසින් කටයුතු කළා. දේශපාලනය වෙනස් වනවිට එම කොමිෂන් සභාවල කාර්යය ද වැඩිදියුණු වියයුතු වෙනවා. මේ අවස්ථාවේ අපට පුහුණු කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් පුහුණු කළා නම් ඒ අමාත්‍යාංශයටම බඳවා ගතයුතු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2021 මාර්තු මාසයේ සිට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂවරුන් පත්කර ගැනීමේ ගැටලු තිබෙනවා. නමුත් වැඩබලන අධ්යක්ෂවරයෙක් දාන්න සිදුව තිබෙනවා. 2021 සිට එක තනතුරක් පුරප්පාඩු වූ අවස්ථාවේ සිට මේ වනවිට තනතුරු 8ක් පත්කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ පත්කිරීමට උත්සාහ කරන හැම අවස්ථාවකම කුමන හෝ බාධා තිබෙනවා.
ජනාධිපති කාර්යාල වැය ශීර්ෂය සම්බන්ධයෙන් ද යමක් කිව යුතුයි. අපි බලයට පත්වුණාම, පත්කරගත් උපදේශකවරුන් ගැන කියනවා මට ඇහුණා. ඉස්සරනම් උපදේශකවරු වැඩියි. ඒ අයගේ වැටුප් වැඩියි ආදී වශයෙන් කිව්වේ විපක්ෂය. නමුත් අද විපක්ෂය කියන්නේ බඳවාගන්න. ඒ අයට වැටුප් ගෙවන්න කියලා. ආරක්ෂකයෝ වැඩියෙන් ගන්න. මොකද ඒ අය කළේ ඒ විදිහට.
බලයේ සිටි ජනාධිපතිවරුන්ට විවිධ මට්ටමින් උපදේශකවරු ඇතුළු නිලධාරීන් සිටියා. අපි බලමු ආසන්නම ජනාධිපතිවරයා සම්බන්ධයෙන්.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උපදේශකවරු 39ක් හිටියා. ඒ අය ඔක්කොම නඩත්තු කළේ රජයෙන්. ඒ අයගේ නම් මීට කලින් ඉදිරිපත් කළා. අපේ ජනාධිපතිවරයා උපදේශකවරු 05 දෙනෙක් පත් කරගෙන තිබෙනවා. ආචාර්ය හාන්ස් විජේරත්න, මහාචාර්ය ගෝමික උඩුගම, දුමින්ද හුලංගමුව, ජේ. එම්. විජේබණ්ඩාර , චන්දන සූරිය බණ්ඩාර යන පස් දෙනා. මතක තියාගන්න මේ අය වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. ගන්න පුළුවන් දීමනා සියල්ල අත්හැර රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. ඒ අය ක්ෂේත්රයේ දක්ෂයෝ. ප්‍රවීණයෝ. ලක්ෂ ගණන් දීමනා, වැටුප් ගන්න පුළුවන් අය ඇවිත් රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා.
මේ අයගේ උපදෙස් අරන් අපේ ජනාධිපතිවරයා වැඩ කරනවා.ඒ අයගේ සේවාව කවුරු හරි මීට කලින් ගන්න උත්සාහ කළානම් හොඳයි. ඒ අයගේ නෙවෙයි වරද. ඒ අයගේ උපදෙස් අරන් වැඩ නොකරපු එකයි වරද.
ඕගොල්ලන්ගේ උපදේශකවරුන් ගැන මම කියන්නම්. ආශු මාරසිංහ, රෝසි සේනානායක, අකිල විරාජ් කාරියවසම්, දිනේෂ් දොඩංගොඩ. දැනුත් එකතු වෙන්න රෑට රෑට කතා කරනවා. වඩිවේල් සුරේෂ් තව එක්කෙනෙක්. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලෙස හිටියේ. අපි එතුමා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කළා. එතුමා ගන්න ඕනෑ එතැනට තමයි.
පහුගිය කාලයේ රාජ්‍ය ඇමැතිවරුත් හිටියා. වෙනස කැබිනට් එකට යන්න බැරි එක විතරයි. අපි කිසිම රාජ්‍ය ඇමැතිවරයෙක් පත් කරන්නේ නැහැ. පවුලේ අය හෝ ඥාතීන් බඳවාගෙන නැහැ. දළ වශයෙන් රාජ්‍ය ඇමැතිවරයෙක් නඩත්තුව වෙනුවෙන් මාසිකව ලක්ෂ පහකට වැඩි මුදලක් ඕගොල්ලන්ගේ කාලයේ දැරුවා. ඇමැතිටයි, කාර්ය මණ්ඩලයටයි වාහන හයක් දුන්නා. ලීටර් තුන්දාහසක ඉන්ධන දුන්නා. අපි ඒ සියල්ල නතර කරලා තිබෙන්නේ. දුරකතන තුනක් දීලා තිබුණා. දැන් අපි එකක්වත් දෙන්නේ නැහැ. නිවාසවලට දුරකතන තුන හතරක් දීලා තිබුණා. ඒ එකක්වත් දැන් දෙන්නේ නැහැ. කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් නඩත්තුවට අනවශ්‍ය වියදමක් දැරුවා. ඒ අනවශ්‍ය වියදම් විශාල ප්‍රමාණයක් අපි නතර කර තිබෙනවා. 2024 දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයන් සංඛ්‍යාවට අමතරව තවත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරුන් 23ක් හිටියා.
අපේ ජනාධිපති උපදේශකවරු පස්දෙනා වැඩකරන්නේ ස්වේච්ඡාවෙන්. ඒ වගේම එක් සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ඉන්නේ. කාර්ය මණ්ඩල නිලධාරීන් ඒ කාලයේ 250ක් හිටියා. අපි ඒක 165ට අඩු කළා. මාණ්ඩලික නොවන නිලධාරීන් 963ක් හිටියා. දැන් 633යි. ඒ අනුව 1252ක් හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැන් ජනාධිපතිවරයාගේ වියදම් අඩුකර 803 දක්වා හාරසිය හතළිස් නවයකින් අඩුකළා.
2024 සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය ගත්තොත් මේ අයට වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 104ක්. ඒක අපි රුපියල් මිලියන 79 දක්වා අඩු කර තිබෙනවා. ඒ කාලේ 1199ක් සමස්ත කාර්ය මණ්ඩලයක් හිටියා. ඒක අපි 754 ට අඩුකළා..
හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරු ගැන කියන්න බැරිවුණු ටික ආපහු කියන්නම්. අකිල විරාජ් කාරියවසම් මහතාට 2022 ජූනි සිට 2024 සැප්තැම්බර් දක්වා වැටුප් ලෙස පමණක් විසිපන් ලක්ෂ හැත්තෑ දහසක්. ඒ වගේම ඉන්ධන දීමනාව ලෙස දහතුන් ලක්ෂ අනූ එක්දහසක්. වෙනත් දීමනා 51000 ක්.මුළු ගෙවීම් ලෙස හතළිස් ලක්ෂ දහතුන්දහසක් අකිල විරාජ් කාරියවසම් මහතාට ගෙවා තිබෙනවා. ආශු මාරසිංහ ඒ කාලයේ අරන් තිබෙනවා.තිස්හතර ලක්ෂයට අධික මුදලක්. උද්දික ප්‍රේමරත්න හාරලක්ෂ විසිපන්දහසක්. රෝසි සේනානායක හත්ලක්ෂ එක්දහසයි. සාගල රත්නායක හැත්තෑතුන් ලක්ෂ නවදහස් එකසිය පනස් පහක් අරන් තිබෙනවා. වඩිවේල් සුරේෂ් , මනූෂ නානායක්කාර, දිනේෂ් දොඩංගොඩ ඒගොල්ලො තමයි ජනාධිපති උපදේශකවරු.
මේ තිබෙන්නේ ජනාධිපතිවරුන්ගේ මුල් මාස නවයේ වියදම්. හිටපු ජනාධිපතිවරයාගේ 2024 වසරේ මුල් මාස නවයේ පුනරාවර්තන වියදම් ලෙස වියදම රුපියල් මිලියන 715ක්. අපේ ජනපතිගේ මුල් මාස නවයේ වියදම මිලියන 279ක්. රුපියල් මිලියන 435කින් ජනාධිපතිවරයාගේ වියදම අඩු කර තිබෙනවා.ජනාධිපති උපදේශක හා පෞද්ගලික කාර්ය මණ්ඩල වියදම රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල් මාස නවයේ රුපියල් මිලියන 403යි. අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එය රුපියල් මිලියන 145 දක්වා අඩු කරගෙන තිබෙනවා. අඩු කර ගැනීම මිලියන 258ක්. කාර්ය මණ්ඩලයට පඩි නඩි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී රුපියල් 255.8ක්.
අපේ ජනාධිපතිවරයාගේ රුපියල් මිලියන අසූවයි. අඩු කර ගැනීම මිලියන 175ක්. ඉන්ධන වියදම මුල් මාස නවයේ මිලියන 55ක්. අපේ ජනාධිපති මිලියන 18.9යි. එකතුව ගත්තොත් මුළු වියදම මිලියන 857ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ. ඒත් අපේ ජනාධිපතිතුමා ගත්තම මිලියන 364ක්. අඩුවීම පමණක් මිලියන 493ක්.
ජනාධිපති කාර්යාලයේ සාමාන්‍ය පරිපාලන වියදම් පිළිබඳ වාර්තාවත් තිබෙනවා. 2024 මුල් මාස නවයේ මුළු වියදම මිලියන 1887ක්. අපි එය අඩු කර තිබෙනවා මිලියන 1324 දක්වා. ඒ වගේම පුනරාවර්තන වියදම් 2024 වසරේ මුල් මාස නවයේ මිලියන 1661ක්. මේ අවුරුද්දේ මිලියන 1199යි. දේශීය, විදේශීය ගමන් වියදම් රනිල් වික්‍රමසිංහ මහතාගේ මිලියන 11.9ක්. වත්මන් ජනාධිපතිවරයාගේ මිලියන 3.6 ක්.ඉන්ධන වියදම රනිල් වික්‍රමසිංහ මහතාගේ මිලියන 263 ක් මුල් මාස නවයට.දැන් මිලියන 140 යි. මේ ජනාධිපති කාර්යාලයේ සමස්තයක් ලෙස මිලියන 1887 මිලියන 1324 දක්වා අඩු කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන්ට සලකන එක. ඒකේ 2024 මුල් මාස නවයේ හිටපු ජනාධිපතිවරුන්ට පුනරාවර්තන වියදම් ලෙස මිලියන 38.9ක්. ඒක මේ වසරේ මිලියන 24.2 දක්වා මාස නවයෙන් අඩු කළා. ප්‍රාග්ධන වියදම හිටපු ජනාධිපතිවරයාට 2024 මුල් මාස නවයේ මිලියන 27.9යි ඒක මිලියන 17 ට අඩුකර තිබෙනවා. සමස්තයක් ලෙස 2024 වසරේ මුල් මාස නවයට සාපේක්ෂව හිටපු ජනාධිපතිවරුන්ට වෙන්කළ මිලියන 66.9 2025 මුල් මාස නවයේදී මිලියන 42 දක්වා අඩු වෙනවා. මෙතැනින් පසුව ඒ වියදම එන්නෙත් නැහැ. මොකද අපි ඒ වරප්‍රසාද ටික කප්පාදු කර තිබෙනවා.
විදෙස් සංචාර, රනිල් වික්‍රමසිංහ මහතා ගිය විදෙස් සංචාර, 2022දී සංචාර හතරයි. සංචාර 4 ට 64 දෙනකු අරන් ගිහින් තිබෙනවා. සංචාර හතරේ වියදම මිලියන 129.31ක්. 2023 විදෙස් සංචාර 16යි. ඒ සමඟ ගිය මුළු පිරිස 269ක්. වියදම මිලියන 577 .9 ක්. 2024 දී විදෙස් සංචාර 05යි. ගිය පිරිස 115ක්.
රුපියල් මිලියන 300ක් වැය කර තිබෙනවා. ඔක්කොම ගත්තොත් එහෙම මේ සංචාර 24 ට 385ක් එක්ක ගිහින් තිබෙනවා. මිලියන 1007.346ක්. ඒ කියන්නේ රුපියල් බිලියනයක් වියදම් කර තිබෙනවා, හිටපු මාස 22ට. මේක සංසන්දනය කළොත් එහෙම අපේ ජනාධිපතිවරයා 2024 දෙසැම්බර් මාසයේ සිට 2025 සැප්තැම්බර් දක්වා සංචාර අටක් ගියා.”
ස්වර්ණා විජේකෝන්,
මහින්ද අලුත්ගෙදර සහ
සන්ධ්‍යා කරුණාරත්න








