“මේක දිව දෙකේ නෙමේ, දිව හතේ දේශපාලනයක්” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය හා ගෝඨාභය රාජපක්ෂගේ පාලනය අතර කිසිදු වෙනසක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හෙතෙම තවදුරටත් කියා සිටියේ මෙය පුදුමාකාර දෙබිඩි දේශපාලනයක් බවත්, එය දිව දෙකේ නොව දිව හතේ දේශපාලනයක් බවත්ය.

ඒ මහතා මෙම අදහස් පළකළේ සමගි තරුණ බලවේගයේ පළාත් පාලන තරුණ සංසදය සමඟ වූ වැඩමුළුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවා.

“මොකක්ද ගෝඨාභය රාජපක්ෂගේත් අනුර කුමාර දිසානායකගේත් වෙනස? එයත් කළේ රාජ්‍යත්වය කේන්ද්‍ර කරගත් ඒකාධිපතිත්වය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කරන්නෙත් ඒකමයි. පුදුමාකාර දෙබිඩි දේශපාලනයක්. දිව දෙකේ නෙමෙයි, දිව හතේ දේශපාලනයක්.”

“දැන් බුරුතු පිටින් ඡන්දය දුන් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට කොහොමද කතා කරන්නේ? ‘කරදර කරන්න එන්න එපා’ කියලා.”

“මේ ආණ්ඩුව බලයට පත් වූයේ ‘නිදහස් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කළ යුතුයි’ කියලා පාරවල් ගානේ පෙළපාලි ගියේ. ඒත් දැන් පසුගිය වසරේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ ප්‍රතිපාදනවලින් බිලියන 133ක් අඩු කරලා තියෙනවා.”

“ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක් ලබා දුන්නා. අනිත් තුනෙන් දෙක බලයට පත් වූ වහාම ලබා දෙනවාය කියන එක සෑම වේදිකාවකම ජප කරපු දෙයක්.”

“දැන් 35,000ක් රැකියා විරහිත උපාධිධාරීන්ට අත්තටු දීලා නැහැනේ අත්තටු කපලා.”

“උපාධිධාරීන්ගේ කර පිටින් බලයට ආපු අය අද කියනවා ‘ඒ කියපු ආකාරයට කරන්න බැහැ අපි වෙන ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා’ කියලා. ‘විභාගයට මුහුණ දීලා ඕන දෙයක් කරගන්න’ කියලා.”

“මේ අරගලයෙන් පස්සේ අරගලයේ තාරුණ්‍යයට දුන්නා පොරොන්දුවක්. ඒ පොරොන්දුව තමයි මේ තරුණ කොටස් පාර්ලිමේන්තුව ඇතුළට ගෙනෙනවායි කිව්වා. පාර්ලිමේන්තුවේ කමිටුවල සාමාජිකයන් කරනවායි කිව්වා. ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට තාරුණ්‍ය පත් කරනවා කිව්වා. ආංශික අධීක්ෂණ කාරක සභාවලට තාරුණ්‍යය එකතු කරගන්න. ඒක කළා.”

“ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව ආවා විතරයි ඔක්කොම ඉවත් කළා. දැන් ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ සහභාගීත්වය නැහැ.”