දිනාගත් බලය ජනතාව වෙනුවෙන්මයි

බලය කිසිසේත්ම රටේ පොදු ජනතාව පීඩාවට පත් කරන මෙවලමක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

හිස උදුම්මා ගත් මානසිකත්වය හෝ උද්ධච්ච බව බලය නිර්මාණය නොකරන බව කී ජනාධිපතිවරයා, බලය සැබැවින්ම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් බව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද පැවසුවේය.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ඊයේ (13) පැවැති 36 වැනි ඉල්මහ විරු සැමරුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, දේශපාලන මණ්ඩල සභිකයන්, මධ්‍යම කමිටු සාමාජිකයන් හා පක්ෂ සාමාජික සාමාජිකාවන් ඉල්මහ විරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සැමරුම් උත්සවය ආරම්භ කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

“මීට වසර තිස් හයකට පෙර අපේ පක්ෂය ගොඩනඟන ලද, පක්ෂයට ජීවය ආධ්‍යාත්මය කැටුව එන ලද, අපේ පක්ෂයට කැපකිරීම පරිත්‍යාගය පිළිබඳ මහා පාඩම් උගන්වන ලද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දස දහස් ගණනක් සහෝදර සහෝදරියන් අනුස්මරණය කිරීම සඳහා අද අපි මෙතැනට රැස්වුණා. 1989න් පසුව මේ වසර 36 පුරාවටම අපි ඔවුන් පිළිබඳ කතා කර තිබෙනවා. ඔවුන් අනුස්මරණය කර තිබෙනවා. ඒ හැම අවස්ථාවකටම වඩා, ඔවුන් සමරන මේ අවස්ථාව වෙනස්. මීට පෙර අපි ඔවුන් පිළිබඳ සාකච්ඡා කළේ, ඔවුන්ගේ ගුණ පිළිබඳ, ඔවුන් අපගේ ව්‍යාපාරයට අත්පත් කරදුන් ගුණාංගයන් පිළිබඳ සාකච්ඡා කළේ බලය අත්පත් කරගැනීමේ ව්‍යාපාරයක් ලෙසයි. අද අපි ඔවුන් ගැන සාකච්ඡා කරගන්නේ බලය අත්පත් කරගත් ව්‍යාපාරයක් ලෙසයි. බලය අත්පත් කර ගැනීමේ දී එදා ඔවුන් අපට කියා දුන් පාඩම්, ඔවුන්ගේ අත්දැකීම් අපට ඉවහල් වුණා. ඒ හා සමාන ලෙසම බලය අත්පත් කරගැනීමෙන් පසුව රට ගොඩනඟා ගැනීම සඳහාත්, ජනතාවගේ ජීවිත උසස් ජීවිත බවට පත්කර ගැනීමේ ව්‍යායාමයේ දී ඔවුන් අපට මහඟු මඟපෙන්වීමක් කරන බව විශ්වාසයි.

බොහෝ අය පැවැති ආණ්ඩු සහ අපේ ආණ්ඩුව සංසන්දනය කරන්න හදනවා. කවදාවත් පැවැති ආණ්ඩු සහ අපේ ආණ්ඩුව සංසන්දනය කරන්න බැරි ප්‍රපංච දෙකක්. එහෙම සංසන්දනය කරන්න පුළුවන්කමක් නැහැ. පැරණි ආණ්ඩුවලට ඒ වර්ගයේම ආණ්ඩුවක් ආවම හොඳ නරක මනින්න පුළුවන්. මේ ආණ්ඩුව හා ජනතාව අතර ඉතාම ශක්තිමත්, ප්‍රමිතිගත කරන ලද එකක්. දේශපාලනය ප්‍රමිතිගත කරලා තිබෙනවා. නීතියේ විධානය පිළිබඳ ප්‍රමිතිගත කරලා තිබෙනවා. ඒ නිසා බලය අත්පත් කරගත්තාට පසුව රටට මහා ජයග්‍රහණ අත්පත් කරදීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලින් උකහා ගත් බොහෝ දේ අපට තිබෙනවා.

අපේ වෙනස කුමක්ද? අපි බලය ලබා ගැනීම සඳහා නිස්සරණාධ්‍යාසයෙන් යුතුව පොරබදපු මිනිස්සු. අද අත්පත් කරගන්නා ලද බලය ඔස්සේ මේ රටට ජයග්‍රහණ අත්පත් කරදීම වෙනුවෙන් පොරබදින මිනිස්සු. වෙනස තිබෙන්නේ එදා අරමුණ සහ අද අරමුණ අතර පමණයි. එසේ නොමැතිව, අපේ හැඩරුව, අභිලාෂයන්, ජීවිත, ආදර්ශයන් එදා වගේමයි. වෙනස්වෙලා තිබෙන්නේ අපට පැවරී තිබෙන අරමුණ සහ අපේක්ෂාව පමණයි.

මේ බලය අත්පත් කර ගැනීම අපගේ තනි තනි පොරබැදීමේ ප්‍රතිඵල නෙවෙයි. අපි හැම කෙනාම එයට දායකත්වය සපයලා තිබෙනවා. මේ බල හුවමාරුව වුණේ, බලය අත්පත් කර ගැනීමේ ගුණාත්මක ගුණය මේ ව්‍යාපාරයට අත්පත් වී තිබෙන්නේ, මේ ව්‍යාපාරයේ මුළු ඉතිහාසයේම අත්පත් කරගන්නා ලද ගුණාංග සමුදායේ ප්‍රතිඵලයක් හැටියටයි. දිගු ඉතිහාසයක් පුරා අප නියෝජනය කරන ආධ්‍යාත්මයේත්, හෘද සාක්ෂියේ වුවමනාවේම දිගුවක් ලෙසයි මේ බලය හුවමාරු වුණේ. එසේ නැතුව මේ බල හුවමාරුව අවුරුදු තුන, හතරක් තුළ සිදුවෙන මහා මැජික් කාර්යයක් නිසා නොවන බව අප තේරුම් ගන්න ඕනේ.

මීට වසර 36ට පෙර රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දස දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කරමින් අපට ගෙනත් දුන්න ඒ ගුණාංග මොනවාද, කුමන දුෂ්කරතා මධ්‍යයේ හෝ තමන්ට පැවරී තිබෙන වගකීම සහ අරමුණ අත්නොහැර, ඒ සඳහා ඕනම ගුණාංගයක් යටතේ සටන් වදින ගුණාංගයයි. එදා අප ව්‍යාපාරයට එක් කරන ලද අත් නොහරින ගුණාංගය සමාන ලෙස අපේ දෙවුර මත පවරා ගනිමින්, අත් නොහරිමින් ජයග්‍රහණය කරා ගමන් කරනවා. ව්‍යාපාරයක් හැටියට අපට මහා ගුණයක් එකතු කරලා තිබෙනවා. ඒ පොදු ගුණය නිර්මාණය වී තිබෙන්නේ තනි තනි පුද්ගලයන්ගේ සාමූහික ගුණාංගවල එකමුතුවකින්. අපිට අපේ නිර්මාතෘවරුන් ඒ සඳහා විශාල වෙහෙසක් දැරුවා. ඒ නිසා තනි තනිවමත්, සාමූහිකවත් ඒ ගුණයන් ආරක්ෂා කරගැනීමේ වගකීම අපට තිබෙනවා.

දේශපාලන ව්‍යාපාරයක් ලෙස බලය අත්පත් කර ගැනීමට පොරබදින විට තිබුණට වඩා බලය අත්පත් කරගත්තාට පසුව අප දෙස බලන ප්‍රමාණය වැඩි බව අප තේරුම් ගන්න ඕනේ. එක යුගයක ඔවුන් අපට කිව්වේ 3%, 4%, 5% කියලා. වරක් ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන නායකයෙක් කිව්වා ‘ලෝකෙ හැම තැනම කවුරු හෝ නියෝජනය කරන සියයට තුන, හතරක විරෝධ ආකල්ප දරන දේශපාලන ව්‍යාපාරයන් තිබෙනවා. ඒ ව්‍යාපාර හැමදාම පවතිනවා කියලයි. එහෙමයි එදා අප ගැන ඔවුන්ගේ මැනීම තිබුණේ. ලෝකේ හැම තැනම තිබෙනවා. ලංකාවේ නම් ඒ ඔබලයි කියලා නොකියා කිව්වා. ඔවුන් සිතුවේ විරෝධාකල්ප නියෝජනය කරන මනෝභාවයන් හැම විටම බලය අත්පත් කර ගන්නේ නැති බවයි.

නමුත් සිදුවුණේ ඔවුන් කවදාවත් අපේක්ෂා නොකළ පරිදි බලය අත්පත් කර ගැනීමයි. එය ඔවුන්ව විස්මිතභාවයට පත්කර තිබෙනවා. අපේක්ෂාභංගත්වයට පත් කරලා තිබෙනවා. වියරුභාවයට පත් කරලා තිබෙනවා. ඔවුන් එයින් විශාල මානසික ආතතියකට පත් කරලා තිබෙනවා.

ඔවුන් අපේක්ෂා නොකළ දෙයක් සිදුව තිබෙනවා. ඒ නිසා අන් කවරදාටත් වඩා වැඩියෙන් අප දෙස බලන එක, අපි කරන්නේ කුමක්දැයි කියන දේ සොයමින් ඔවුන් දැන් ඉන්නවා. ඒ නිසා අපි හැම දෙනාටම කාර්යභාරයක් සහ වගකීමක් තිබෙනවා.

බලය අත්පත් කරගැනීමේ මාවත සරල මාවතක් නෙවෙයි.1988 – 1989 කාලයේ දි විජේවීර සහෝදරයා ඇතුළු දහස් ගණනක් මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කළා. සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ ව්‍යාපාරයේ කඳ කපා දැමුවා. එහෙත් ඒ හැම සහෝදර සහෝදරියක්ම වැඩ කරන වෙලාවෙදි, දුෂ්කර වධ කඳවුරේදී, වධකයන් ඉදිරියේ, ඝාතනය ඉදිරියේත් මේ ව්‍යාපාරයේ සාරය රැක්කා. මේ ව්‍යාපාරය හැම විටම උත්තුංග සාරයක් ආරක්ෂා කළා. ඒ සාරය තමයි 1994 යළි මේ පක්ෂය නැගිට්ටවන්න ජීවය දුන්නේ.

1994න් පසුව විශාල දුෂ්කර කොන්දේසි මත ව්‍යාපාරය ගොඩනඟනවා. අද නැතත් සමහර අය ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය ගැන ස්තුතිවන්ත වෙනවා.

එහෙත් මේ ගමන් මඟ තීරණාත්මක සන්ධිස්ථාන කිහිපයක් පසුකළා. 2007 පක්ෂයේ බහුජන ව්‍යාපාරයේ කොටසක් ගැලවී ගොස්, සතුරාගේ ඔඩොක්කුවේ සිට අපේ ව්‍යාපාරයට නැඟිය හැකි සෑම අවලාදයක්ම නැඟුවා. මාස කිහිපයකට පෙර එක කෑම පිඟාන බෙදාගෙන එක කාමරයේ නිදාගත්ත අය නිමේෂයකින් සතුරාගේ ඔඩොක්කුවේ සිට අවලාද නැඟුවා. අද වන විට අවලාදවලටත්, ඔවුන්ටත් පණක් නැහැ. ජීවත් වුවත් දිනපතා මිය යන සිරුරු බවට පත්ව තිබෙනවා.

අනතුරුව 2012දී අපේ ව්‍යාපාරයට විශාලතම බලපෑමක් වෙන සිද්ධිය ඇතිවුණා. විශාල පිරිසක් දාලා ගියා. සෘජුවත් වක්‍රවත් සතුරාගේ වුවමනාව වෙනුවෙන් අවලාද, අසත්‍ය චෝදනා එල්ල කළා. ඔවුන් කිව්වේ අපි යන මාවත වැරදියි. ඊට වඩා විප්ලවීය මාවතක් ඇත. මේ යන මාවත දියවී අවසන් වනු ඇත. කවර හෝ ප්‍රතිගාමී ව්‍යාපාරයක අතකොළුවක් වනු ඇත. මීට වඩා ශුද්ධ පාරිශුද්ධ විප්ලවීය මාවතක් තිබෙන බව කියමින් අපේ සහෝදරවරුන්ගේ හදවතට කතා කරන්න පටන් ගත්තා. ඒ අය තමයි අද ප්‍රතිගාමී පක්ෂවල මතවාදය නිර්මාණය කරන්නන් බවට පත්ව තිබෙන්නේ. එය අප සැමට කම්පනයක් වුණා.

ඒ අන්ත ප්‍රතිගාමීත්වයට, වැරදි දේශපාලන ප්‍රවණතාවට මේ පක්ෂය යටත් කරනවද එහෙම නැත්නම් එයට එරෙහිව සටන් වදිනවද කියලා අපි සාකච්ඡා කළා. එවැනි සාකච්ඡාවක් ටිල්වින් සහෝදරයා ඇතුළු අපි කිහිපදෙනෙක් අතර තිබුණා. ඒ වෙලාවේ ටිල්වින් සහෝදරයා එක වදනක් කිව්වා. ‘අපට අත්හරින්න පුළුවන් ඒ දේශපාලන ප්‍රවණතාව හරි නම්. හැබැයි, ඒ දේශපාලන ප්‍රවණතාව වැරදියි. ඒ නිසා ඊට එරෙහිව සටන් කරන්න ඕනේ; කිව්වා. ඒ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමේදී ලාල්කාන්ත සහෝදරයා කිව්වා ‘ව්‍යාපාරය ඇතුළේ කල්ලියක් ගොඩනැ‍ඟී තිබෙනවා. මේ කල්ලි ව්‍යාපාරයට එරෙහිව කුමන්ත්‍රණය කරමින් තිබෙනවා. අපට ඒ කල්ලියට ඉඩ දෙන්නත් පුළුවන්. හැබැයි අපිත් කණ්ඩායමක් ලෙස එයට එරෙහිව සටන් වදින්න සූදානම් බවට. එකට හිටපු, අපට මඟපෙන්වපු මිනිස්සු දාලා ගිහින් කුමන්ත්‍රණය කළා. පත්තර පිටු ගණන් ලිව්වා අපේ සහෝදරවරු පිළිබඳ අවලාද නඟමින්. එහෙත් අපට මෙය කළ යුතුයි කියන අධිෂ්ඨානය තිබුණා. මහජනයා අප කෙරෙහි තිබුණු අවධානය ගිලිහෙන්න පටන් ගත්තා. මන්ත්‍රීවරු තිස්නමයක් නියෝජනය කරපු අපි මන්ත්‍රීවරු තුනට අඩු වුණා. ඡන්ද ප්‍රතිශතය සියයට තුනට අඩු වුණා. අපි නොසලකා හරින දේශපාලන ව්‍යාපාරයක් වුණා. අපේම සහෝදරවරු කතා කරල කිව්වා ‘මිනිස්සුන්ට ඕනෙ නැත්නම් ඔබටත් ඕනෙ නැහැ. ඔබලාගේ වැඩක් කර ගන්න කිව්වා. ඔබේ මේ අපේක්ෂාව මේ රටේ ජනතාව තේරුම් ගන්නේ නැහැ කිව්වා’. අපිට එක අධිෂ්ඨානයක් තිබුණා. මේ වෙනස් කිරීම සඳහා මිය යන තෙක් පොර බදනවා කියන අධිෂ්ඨානය අපට තිබුණා. මුළු දේශපාලන කතාවේම බලය ඉතා දුර කතාවක්. තමන්ගේ ජීවිත කාලය ඇතුළත උදා කරගත නොහැකි වූ බලයක් පිළිබඳ අපේක්ෂාවෙන් යුතුව, අත් නොහැර මේ ව්‍යාපාරයත් සමඟ අඛණ්ඩව සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටියා. බලය කවද ද? කොතන ද? සියයට තුන බලය දක්වා වර්ධනය වෙන්න නම් 10%, 1500කින් වැඩි වෙන්න ඕනේ කියලා ගණිතඥයෝ කිව්වා. ඊට පස්සේ බලය ගත්තත් මෙහෙයවන්න කණ්ඩායමක් නෑ කිව්වා. ජාත්‍යන්තර සම්බන්ධතා හදාගන්න බැහැ. ආර්ථිකය කළමනාකරණය කරගන්න බැහැ කිව්වා. සියලු අසුබවාදයන් සමාජය මත හෙළුවා.

එහෙත් අධිෂ්ඨානශීලීව සුබ සිහිනයක් දකින අම්මලා, තාත්තලා හිටියා. ඒ ඔබ. ඔබ අප එක්ව ඒ දැකපු සුබ සිහිනය, අපේක්ෂාව, ආරම්භක පියවර වූ බලය අත්පත් කරගැනීම අප විසින් සිදු කළා. කොතැන ද? කවද ද? කවුද? එහෙම බලය අත්පත් කර ගැනීම කල්පනා කළේ. අපි හැල්මේ වැඩ කළා. බලය අපේ සාකච්ඡාවේ න්‍යාය පත්‍රයටවත් ගත්තේ නැහැ. හැබැයි අපිට එක්තරා හොඳ දේශපාලන නිමේෂයක් එනවා. 2019න් පසුව 3% වැටිලා, ආර්ථිකයේ, දේශපාලනයේ ඇතිවී තිබූ අර්බුදයන්, සමාජය, දේශපාලන ව්‍යාපාරයන් දෙස දකින කෝණය පුපුරා යාමේ කඩඉමට පැමිණ සිටියා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගත්ත ආණ්ඩුවක් අබියස, ලක්ෂ 69ක ජන වරමින් බිහිවුණු ජනාධිපතිවරයෙක් අබියස, ඒ මැතිවරණ උණුසුම යාමටත් පෙර අපි හිතුවා බලය ගන්න දැන් පුළුවන් කියලා. වරක් විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ සූම් සාකච්ඡාවක් කළා. බලය ලබා ගැනීම සඳහා අපි සැලැස්මක් එළලා තිබෙන බව එහිදී කිව්වා. අපට බලය ලබා ගත හැකි බවත් ඔවුන්ට කිව්වා. පසුව එක් ආචාර්යවරයෙක් මට වෙනම කතා කරලා ඇහුවා එය කිව්වෙ සාකච්ඡාවට ආපු අය දිරිගන්වන්න ද? නැත්තම් ඇත්තටම ද කියලා. අපි එය කිව්වේ ඇත්තටම බව මම කිව්ව.

අනතුරුව ගම්මානවල ඇවිදිමින්, පක්ෂයේ ජීවගුණය ආරක්ෂා කර ගනිමින්, අලුත් මාවතක් සඳහා අපි හැම දෙනාම වෙහෙස නොබලා වැඩ කළා. ඊළඟ අවස්ථාව බලය මාරුවෙන්නේ අප අතට කියන දැඩි විශ්වාසය අප තුළ තිබුණා. කවර හෝ දේශපාලන ව්‍යාපාරයක් අවුරුදු දෙක තුනක් ඇතුළත බලය ලබා ගැනීම වෙනුවෙන් කරන ලද වැඩ ප්‍රමාණය ලියුවොත් ලංකා ඉතිහාසයේ වැඩිම සක්‍රිය වැඩ කොටසක් කළේ අපියි. ගොවි බිම්, වෘත්තියවේදීන්, කාන්තා සහෝදරියන් අපි ඔක්කොම එකට එක අරමුණකින් වෙළිලා වැඩ කළා. ඔව්; අපේ අධිෂ්ඨානය, අපේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව අතර සමපාත වීමක් වුණා. අපිට අපේක්‍ෂාවක් තියෙනවා. ඒ අපේක්ෂාවම ජනතාවට තියෙනවා. අපට වුවමනාවක් තිබෙනවා. ඒ වුවමනාවම ජනතාවට තියෙනවා. අන්න ඒ අවස්ථාවේ ලංකා ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලැබෙන විදිහට ආණ්ඩුවක් පිහිටුවා ගන්න අපි සමත් වුණා.

විපක්ෂය අපේ රටේ ආර්ථිකය අවදානම් බව කියනකොට මහ බැංකු අධිපතිවරයයි, මුදල් ඇමැතිවරයයි ආර්ථිකයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බව කිවුවා. කුමක්ද සිද්ධ වුණේ. කළු වෙළෙඳපොළේ ඩොලරය රුපියල් 420ට 430ට ගියා. රට පිළිබඳ ආණ්ඩුවටවත් පුරවැසියන්ටවත් පුරෝකථනය කරන්න බැහැ. එම ආර්ථික අවදානම නිසා වෛද්‍යවරු, වෘත්තීයවේදීන් රට දාල ගියා. රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිඟතාවයක් ඇතිවුණා. අපේ රට තිබුණේ එහෙමයි.

මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මට කරුණු අනාවරණය වුණා.

අපේ රටේ ජාතික සමගිය විනාශ වුණු ඉතිහාසයක් තිබුණා. කොතැනක හෝ සමාජ අර්බුදයක් එනකොට, ජනතාවට ගැටලුවක් එනකොට පල්ලියට ගහනවා. එකම එකවුන්ට් එකෙන් සිංහල අන්තවාදයටත් මුස්ලිම් අන්තවාදයටත් පඩි ගෙවලා තියෙනවා. එකම ආණ්ඩුවේ බදු මුදල්වලින් ගෙවලා තියෙන්නේ ඇයි. ඔවුන් හැම මොහොතකම පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කොට ගත්තා. ජාතිවාදයට ආයෙත් කිසිසේත්ම අපේ රටේ ඉඩක් දෙන්නේ නෑ. මේ රට එකට ගොඩනඟන රටක් බවට පත් කරනවා.

විරුද්ධ පාක්ෂිකයා මැඬලන්න අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසම හෝ අධිකරණ කොමිසම උපයෝගී කරගන්නේ නැහැ.

අපි ඉතිහාසයට වගේම පුරවැසියාගේ වර්තමානයට අනාගතයට වග වෙන්න ඕනේ. අපේ බලය පුරවැසියා සමානව එකට සිටගනිමින් මේ රට ගොඩනැ‍ඟීම සඳහා ප්‍රයත්න දරන බලයක් බව අප තේරුම් ගන්නවා. අපි පැමිණි දීර්ඝ ඉතිහාසය තුළ අපේ මියගිය සහෝදර සහෝදරියන් සතුව තිබූ ජීවගුණය, අත්දැකීම් මේ සියල්ල එක්රැස් කළේ බලය ලබා ගැනීම සහ ජයග්‍රහණ රැස් කිරීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම එකතුවෙමු.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභික විජිත හේරත්, ලාල්කාන්ත, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කමිටු සාමාජික ජිනදාස කිතුලේගල, රාමලිංගම් චන්ද්‍රසේකරන්, නිහාල් ගලප්පත්ති, සමන්මලී ගුණසිංහ, නාමල් කරුණාරත්න, එරංග ගුණසේකර, රංගන දේවප්‍රිය මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – සුලෝචන ගමගේ