ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින නීතිඥවරිය හරක් කටා හා කුඩු සළිඳු බේරාගැනීමට මැඩගස්කරයට පවා ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
ඇය එහිදී මැඩගස්කර පොලීසියේ නිලධාරීන්ට එරට මුදල් නෝට්ටු මලු දෙකක් පවා අල්ලස් ලෙස ලබාදී ඇති බව අනාවරණය වී ඇත. එම මුදල් මලු ඇයට ලැබී ඇත්තේ ඩුබායි සිට ඇයව මැඩගස්කරයට ගෙන්වා ගත් පුද්ගලයෙක්ගෙන් බව ද හෙළිවී තිබේ. එම පුද්ගලයාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව හරක් කටා සහ කුඩු සළිඳු නිදහස් කිරීමට මැඩගස්කර පොලීසිය ද සූදානමින් සිට ඇතත් එය වැළකී ඇත්තේ එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි ටිරාන් අලස් මහතා විසින් එරට අධිකරණ හා පොලීසිය භාර ඇමතිවරයා සමඟ පැවති දුරකතන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා මෙරටට භාරදීමට මැඩගස්කර බලධාරීන් ගත් තීරණයක් හේතුවෙනි.
ඒ අනුව මෙරටට භාරදුන් හරක් කටා සහ කුඩු සළිඳු රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් නිලධාරී කණ්ඩායමක් මැඩගස්කරයට ගියහ. එහිදී හරක් කටාත් කුඩු සළිඳුත් මෙම නිලධාරීන් කණ්ඩායමට භාරදෙන විට ඔවුන් එරට පොලිස් නිලධාරීන්ට ඉංග්‍රීසියෙන් බැණවැදී ඇත්තේ සල්ලිත් ලබාගෙන තමන්ව ශ්‍රී ලංකා පොලීසියට භාරදෙන බව සඳහන් කරමිනි.
එහිදී ඔවුන් දෙදෙනා එම නිලධාරීන්ට භාරදීමෙන් අනතුරුව දින ගණනාවක දුෂ්කර ගුවන් ගමනකින් අනතුරුව මෙම අපරාධකරුවන් දෙදෙනා මෙරටට රැගෙන එනු ලබන්නේ මැඩගස්කර පොලීසියේ ද සහාය ඇතිවය. ඒ රැගෙන එන අතර මඟදී පවා ඔවුන් දෙදෙනා ඔවුන්ව භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට පවසා ඇත්තේ මැඩගස්කර පොලිස් නිලධාරීන් තමන්ව නිදහස් කිරීමට යැයි කියා මුදල් ලබාගත් බවය. ඒත් එක්කම මම නිලධාරීන්ට ඔවුන් විශාල මුදලක් ලබාදීමට යෝජනා කරමින් නිදහස් වීමට පවා උත්සාහ දරා තිබිණි.
මෙරටට රැගෙන ආ ඔවුන් දෙදෙනාව මුදාගැනීමට පවා සැලසුමක් ක්‍රියාත්මකව තිබුණු බව හෙළි විය. පොලීසියේ ඇතැම් දූෂිත නිලධාරීන්ට පවා මුදල් බෙදා දුන් බව කියැවිණි. එම මුදල් බෙදාදීමේ අතරමැදියෙක් ලෙස ද නීතිඥවරිය කටයුතු කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඇය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් ද විමර්ශනයක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.








