තුසිත හල්ලොලුවට වරෙන්තු නිකුත් කෙරේ

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටින බවයි සඳහන් වෙන්නේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණ හමුවේ සඳහන් කළේ තම සේවාදායකයා අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරි දිනයේ ගොනු කරන බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එම අවස්ථාවේදී තුසිත හල්ලොලුවගේ ඇපකරුවකුද අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහෙත් එම ඇපකරු මෙම නඩුකරයට අදාළ ඇපකරු නොව  තුසිත හල්ලොලුව‍ගේ වෙනත් නඩුවකට අදාළ ඇපකරුවකු බව අධිකරණය හමුවේ කරුණු අනාවරණයවී තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව සැකකරුට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.