වන සුරැකුම මහජන පැමිණිලි කෙටි දුරකථන අංකයට දින 10 ක් තුළ ඇමතුම් 500 ක් ලැබෙයි

පරිසර අමාත්‍යාංශයේ “වනස්පති” වැඩසටහන තුළින් හඳුන්වා දුන් “වන සුරැකුම” මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකථන අංකයට ඇමතුම් 500 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, වන හානි, වන ජීවීන්ට සිදු කරනු ලැබූ විවිධ නීති විරෝධී ක්‍රියාවන්, කඩොලාන තෙත් බිම් ගොඩ කිරීම් සහ වන රක්ෂිත ප්‍රදේශයන් හෙළිපෙහෙළි කිරීම් ඇතුළු සිද්ධීන් රැසකට අදාළව, මහජන පැමිණිලි 1995 කෙටි දුරකථන අංකයට ලැබී ඇති පරිසරයට අදාළ පැමිණිලි 61 ක් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුව ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන හානි සම්බන්ධයෙන් පැමිණිලි 53 ක් වාර්තා වී ඇති අතර, ඉන් පැමිණිලි 13 කට අදාළව පරීක්ෂණ සිදුකර, අධිකරණයට යොමු කර, නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද සඳහන්.

ඉතිරි පැමිණිලි 40 සඳහා අදාළ පරීක්ෂණ අඩවි වන සංරක්ෂණ කාර්යාල මට්ටමින් සිදු කර, කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.