මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකාරියක වන ඩේසි ෆොරස්ට් නමැත්තියගේ දේපළ හිමිකාරිත්වය හා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ගංගොඩවිල හා ගල්කිස්ස දිසා අධිකරණ මෙයට වසර 9කට පෙර දී ඇති නියෝගයක් මේ දක්වා මොනයම් හෝ අධිකරණයකට ඉදිරිපත් නොකළේ ඇයිදැයි කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විත්තියේ නීතිඥයන්ගෙන් ඊයේ (12) ප්‍රශ්න කළේය.
මහාධිකරණ විනිසුරුවරයා මෙසේ විමසා සිටියේ ඩේසි ෆොරස්ට් නමැත්තිය ‘ඩිමෙන්ෂියා’ හා ‘ඇල්ෂයිමර්’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් ඇයට එරෙහිව නඩුවක් පවරා පවත්වාගෙන යෑම කළ නොහැකි බවට විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා කරුණු දැක්වූ අවස්ථාවේදීය.
මේ වන විට 98 හැවිරිදි වියේ පසුවන ඩේසි ෆොරස්ට් නමැත්තිය සිය දේපළ පරිපාලනය කිරීමේ හෝ සිය පෞද්ගලික කටයුතු කරගෙන යෑමේ හැකියාවක් නැති යහපත් සිහි බුද්ධියෙන් නොමැති තැනැත්තියක් බැවින් ඇගේ දේපළවල භාරකාරිත්වය සම්බන්ධයෙන් ගල්කිස්ස හා ගංගොඩවිල දිසා අධිකරණවල නඩු දෙකක් පැවැති බවත් විත්තිය දන්වා සිටියේය.
ඇගේ දේපළ හිමිකාරිත්වය සම්බන්ධයෙන් 2017 වසරේ මාර්තු 15දා ගල්කිස්ස දිසා අධිකරණය ඉදිරියේ පවරන ලද සිවිල් නඩුව සම්බන්ධයෙන් දී ඇති නියෝගය ගැනද විත්තිය අධිකරණය දැනුම්වත් කළේය.
ගංගොඩවිල දිසා අධිකරණය ඉදිරියේ පවරන ලද සිවිල් නඩුවකදී විත්තිකාරියගේ දේපළ භාරකාරිත්වය සඳුනි ආසිරි පෙතියාගොඩ නමැත්තියට පවරා ඇති බව දන්වා සිටියේය. එම නඩු කටයුත්තේ දී ගංගොඩවිල දිසා විනිසුරුවරයා ඇගේ රෝගී තත්ත්වය හා දුර්වල මානසික තත්ත්වය ඉදිරියේදී හෝ යථා තත්ත්වයට පත්විය නොහැකි බවට දැනුම් දී ඇති බව ප්‍රකාශ කෙරිණි.
ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය නිසා තමන්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විත්තිකාරියට දැනුම්වත්භාවයක් නොමැති බව ප්‍රකාශ කළ විත්තියේ නීතිඥවරයා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය අනුව ඇයට විත්ති වාචකයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළේය. විත්තිකාරියට නඩුවට සහභාගි වන විට දේවස්ථානයකට පැමිණ සිටින බවක් දැනෙන බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා මෙවැනි තත්ත්වයක් තුළ නඩුව පූර්ව නඩු විභාගයට යොමු කිරීමට පෙර චුදිතගේ නම අධිචෝදනා පත්‍රයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
විත්තියේ මේ කරුණු දැක්වීම කැඳවීම් අවස්ථාවේ නොකළේ ඇයිදැයි විමසා සිටි මහාධිකරණ විනිසුරුවරයා එම ලේඛන මහේස්ත්‍රාත් පරීක්ෂණ අවස්ථාවේ හෝ ඉදිරිපත් කළේ දැයි විමසා සිටියේය. එයට විත්තියෙන් පිළිතුරක් නොලැබුණු විට එම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේදැයි විමසීය. එවැනි ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී නැති බවට පිළිතුරු ලැබිණ.
එවිට නීතිපතිවරයා වෙනුවෙන් නඩුව මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් මේ ආකාරයේ නියෝගයක් පිළිබඳ තමා දැනුම්වත් නොමැති බව කියා සිටියේය. විත්තිකාරියගේ වයස නිසා ඇති වන රෝගී තත්ත්ව පිළිබඳ පැමිණිල්ලට අවබෝධයක් ඇති නමුත් එම නිසා වෙනත් තැනැත්තකුට වාසියක් හිමිවීමේ අවස්ථාවක් දිය නොහැකි බව විවෘත අධිකරණයේ පවසා සිටියේය.
දිසා අධිකරණය ඉදිරියේ නඩු පැවරීම කළේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද එහිදී හිමිකාරිත්වය පවරා ඇති දේපළ මේ නඩු කටයුත්තට සම්බන්ධ ද එමෙන්ම විත්තිකාරියගේ රෝගී තත්ත්වය පිළිබඳ පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්විය යුතුද යනාදී කරුණු පිළිබඳ අධ්‍යයනය කළයුතු බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා එය ඉදිරි දිනකදී දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.
නීති විරෝධී ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්‍ර ලෙස උපයාගත් මුදල් බව දැන දැනම නැතහොත් එසේ දැන ගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ. එමඟින් මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම හා එකී වරද සිදුකිරීමට අනුබලදීම සහ ක්‍රියා කිරීමට එකඟ වීමෙන් ක්‍රමන්ත්‍රණය කළ බවද එකී කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් එම වරද සිදුකිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 113 අ සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සිදුකර තිබේ.
අනිල් ද සිල්වා හා සම්පත් මෙන්ඩිස් යන ජනාධිපති නීතිඥ මහත්වරු විත්තිය වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවීය. නඩුව ලබන 26දා යළි කැඳවේ.
චන්දන ජයවීර








