ප්‍රදේශ රැසකට මි.මී. 75ට වඩා තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.