වසාදැමුණු අමෙරිකානු රජය අරින්න පනතක්

අමෙරිකානු රජයේ වසා දැමීම අවසන් කිරීමට සෙනෙට් සභාව 2026 ජනවාරි දක්වා අරමුදල් පනතක් ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙනවා.

මෙය එරට ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීමයි.

රජය වසා දැමීම යනු එරට අත්‍යවශ්‍ය සේවා පමණක් තිබියදී සෙසු සියලු රාජ්‍ය සේවා අත්හිටුවීමයි.

දින 40ක් පුරා ඇදී ගිය ෆෙඩරල් රජයේ වසා දැමීම අවසන් කිරීමේ සහ ෆෙඩරල් සේවකයින් නැවත සේවයට කැඳවීමේ අරමුණින් යුත් පියවරක් සමඟ මෙම තීරණය ගැනීමට සූදානම් වනවා.

මෙම වසා දැමීම හේතුවෙන් ෆෙඩරල් සේවකයින් සේවයෙන් ඉවත් වී ඇති අතර, ආහාර ආධාර ප්‍රමාද වී තිබෙන බව සඳහන්.

ගුවන් ගමන් වලට ද මෙමගින් බාධා ඇති කර තිබෙනවා.

සෙනෙට් සභිකයින් බලාපොරොත්තු වන්නේ, සභාව විසින් සම්මත කරන ලද පනතක් ඉදිරියට ගෙන යාම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමටයි.

මෙම පනත සංශෝධනය කිරීමට නියමිත අතර, එය කෙටි කාලීන අරමුදල් පියවරක් සමඟ සම්පූර්ණ වසරක ප්‍රතිපාදන පනත් තුනක පැකේජයක් ඒකාබද්ධ කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සංශෝධිත පනත මගින් රජයට 2026 ජනවාරි මාසය දක්වා අරමුදල් සැපයීමට නියමිතයි.

යෝජනාව මගින් වසා දැමීම අතරතුර ට්‍රම්ප් පරිපාලනය විසින් සිදු කරන ලද ෆෙඩරල් සේවකයන් විශාල වශයෙන් සේවයෙන් පහකිරීම් අවම කිරීමට කටයුතු කරනු ඇති.

එමෙන්ම, වසරක් සඳහා අතිරේක පෝෂණ ආධාර වැඩසටහන් (SNAP) ප්‍රතිලාභ සඳහා අරමුදල් සපයනවා.

අරමුදල් සටන අතරතුර ඩිමොක්‍රටික් පාර්ශවයේ ප්‍රමුඛතාවයක් වූ දැරිය හැකි සත්කාර පනත යටතේ සහනාධාර දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේදී ඡන්දයක් පැවැත්වීමට රිපබ්ලිකානුවන් එකඟ වීම මෙම ගනුදෙනුවේ කොටසක්.

කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ACA සහනාධාර වෙනුවට සෘජු ගෙවීම් සඳහා බලපෑම් කරමින් සිටින බවද සඳහන්.

රිපබ්ලිකන් පාලනය යටතේ පවතින සෙනෙට් සභාවේදී මෙම පියවර සම්මත කර ගැනීමට ප්‍රමාණවත් වන පරිදි අවම වශයෙන් ඩිමොක්‍රටිකයින් අට දෙනෙකු ඊට සහාය දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එසේ වුවද, සෙනෙට් සුළුතර නායක චක් ෂූමර් ඇතුළු ඉහළම ඩිමොක්‍රටික් නායකයින් කිහිප දෙනෙකු මෙම පියවරට විරුද්ධව ඡන්දය දෙන බව පවසා තිබුණා.

ධවල මන්දිරයේ ආර්ථික උපදේශක කෙවින් හැසට් අනතුරු ඇඟවූයේ, රජය තවදුරටත් වසා තැබුවහොත්, සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණාත්මක විය හැකි බවයි.

ඊළඟ පියවර ලෙස, සංශෝධිත පැකේජය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කළ යුතු අතර, ඉන්පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන සඳහා යැවිය යුතුයි.

මෙම ක්‍රියාවලියට දින කිහිපයක් ගත විය හැකි බව වාර්තා වනවා