භියෝගාත්මක කාල පරිච්ඡේදයකට මුහුණ දුන් මෙරට ආර්ථිකය වර්තමානයේදී ස්ථාවර සහ ශක්තිමත් පදනමකට යොමුවෙමින් පවතියි. පාලය බලයට පත් වූ පසු වත්මන් ආණ්ඩුව ප්‍රධාන වශයෙන් අභියෝග ගණනාවකට මුහුණ දුන් අතර මෙරට ආර්ථිකය යළි ගොඩනැංවීම සහ එය ඉදිරියට පවත්වාගෙන යෑම ඒ අතුරින් ප්‍රධාන විය. මෙරට ආර්ථිකය යම් ස්ථාවර මට්මකට ගෙන ඒමේ අභියෝගය පළමු වසර තුළදී ජය ගැනීමට රජයට අවකාශ හිමිවිය. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදී ජාත්‍යන්තර මූල්‍ය සම්පාදකයින්ගේ විශ්වාසය දිනා ගනිමින් විශ්වාසවන්ත ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වීමට රජයට හැකි විය. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය පාලනය කිරීම, මිනිසුන්ගේ ජීවන තත්ත්වය ගොඩනැඟීම සහ ආදායම් මාර්ග දියුණු කිරීම, මෙරට විදේශ වත්කම් ප්‍රමාණය බිලියන හය දක්වා ඉහළ දැමීම, රුපියල අව ප්‍රමාණය වීම වැලකීම, උද්ධමන වේගය 5%ට අඩු මට්ටමකට ගෙනඒම, සේවා වියුක්තිකය 4%කට සීමා කිරීම, අපනයන වර්ධනය කර ආනයනය යම් මට්ටමකින් සීමා කිරීම ආදී හේතු සාධක මත මෙරට ආර්ථිකය යම් ස්ථාවරට මට්ටමකට පැමිණි බව අපට පැහැදිලි විය. 2026 වර්ෂය සඳහා වන රජයේ අය-වැය පිළිබඳව සැලකීමේදී එය ආර්ථිකය වර්ධනය කිරීම සහ ආර්ථික සංවර්ධනය සහතික කිරීම යන ප්‍රධාන කාරණා ද්විත්වය ඔස්සේ විහිදී ඇති බව දැක ගත හැකිය.
යහපත් දැක්මක්
මෙවර අය-වැය යහපත් දැක්මක් යටතේ ක්‍රියාත්මක කර තිබේ. මෙහි මූලික ලක්ෂණ සැලකීමේදී ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් උපක්‍රම කිහිපයක් දැකගත හැකිය. අපනයන වර්ධනය කරන්නේ කෙසේද යන්න ඉන් එකකි. අපනයන වර්ධනය සඳහා Trade National Single Window System එකක් යෝජනා කර තිබේ. එහිදී උත්සාහ ගනු ලබන්නේ මෙතෙක් කල් අපනයන සහ ආයෝජන සම්බන්ධයෙන් තිබූ ගැටලුවක් වන ප්‍රමාද වීම් අවම කර ගැනීමයි. Ease of Doing Business Index දර්ශකය අනුව රටවල් 190ක් අතුරින් ශ්‍රී ලංකාව පසුවන්නේ පහළ ස්ථානයකය. එය මෙරටට ආයෝජන ලැබීම සම්බන්ධයෙන් ගත් කල සාධනීය තත්ත්වයක් නොවේ. මෙය ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් හිතකර පරිසරයක් ඇති රටවල් පිළිබඳව වූ ශ්‍රේණිගත කිරීමකි.
තවද ආයෝජන ප්‍රවර්ධනය සඳහා අතථ්‍ය ආර්ථික කලාප ගොඩනැඟීම සඳහාද යෝජනා වී ඇති අතර එය මෙරට සේවා නියුක්තිය සහ අපනයන ක්‍රියාවලිය සඳහා ඉතා වැදගත්ය. අය-වැය මඟින් සහභාගිත්ව සංවර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ණය පහසුකම් ලබා දී ඇත. විශේෂයෙන්ම සහන අනුපාතයන් යටතේ ඔවුන්ට අවශ්‍ය ප්රාග්ධනය සහ ආයෝජන කිරීමේ අවස්ථා ලබා දී තිබේ. එමෙන්ම ආර්ථික පැතිකඩින් ගත් විට ඩිජිටල්කරණය සඳහා අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන අතර එමඟින් ගනුදෙනු පිරිවැය අවම කර ඉල්ලුම හා සැපයුම අතර ඇති වියදම අවම කර ගැනීමට හැකියාව ලැබේ.
සමාජ සංවර්ධනය
ලෝකයේ බොහෝ දියුණු රටවල් තුළ මෙම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වේ. අය-වැය තුළින් සමාජ සංවර්ධනය සඳහා ගෙන ඇති පියවර පිළිබඳ සැලකීමේදී අධිවේගී මාර්ග සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති අතර එමගින් ආයෝජන දියුණු වීම, ව්‍යාපාර දියුණු කිරීම වැනි ප්රතිලාභයන්ද ළඟා කරගත හැකිය. රටේ ප්‍රධාන බාධකයක්ව පැවති වංචාව දූෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීමද දැකිය හැකි තවත් වැදගත් කරුණකි. රාජ්‍ය අංශය සඳහා තාවකාලික, කොන්ත්‍රාත්, සහන පදනම මත බඳවා ගෙන සිටි සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබා දීම, අලුතින් 75000ක පිරිසක් බඳවා ගැනීම සහ සියලු දෙනාට තරග විභාග සඳහා සහභාගි වී අවස්ථාව ලබා ගැනීමට ඉඩ ප්‍රස්තා සැලසීම, අවදානමට ලක්වූ පුද්ගල කණ්ඩායම් සඳහා සහන සැලසීම ආදියද මෙහිදී වැදගත් වේ. මේ අනුව සමස්ත අය-වැය දෙස බැලීමේදී පෙනී යන්නේ සාර්ව ආර්ථික විචල්‍යයන් මැනවින් අවබෝධ කරගනිමින් සියලුම අංශයන් නියෝජනය වන පරිදි අය-වැය ලේඛනය සකස් කර ඇති බවයි.
2026 අය-වැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි. ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරුණු අතර, බදු නොවන ආදායම රු. බිලියන 455ක් පමණි. මේ පිළිබඳ සැලකීමේදී බදු ආදායම 92%ක් පමණ වන අතර බදු නොවන ආදායම 8%ක් පමණ වේ. අය-වැය මඟින් පැහැදිලි කරන ආකාරයට 25% – 70% ත් අතර පැවති සෘජු හා වක්‍ර බදුවල පරතරය 40%- 60% දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වී තිබේ. මේ වන විට රජයේ බදු ආදායම 15% දක්වා ඉහළ ගොස් තිබේ. මෙහිදී ආදායම් බදු ඉහළ දැමීම සඳහා රජය උත්සාහ කරන අතර පහළ මට්ටමේ සිටින පුද්ගලයින්ගේ බදු බර අවම කර ඉහළ ආදායම් සහ මධ්‍යම මට්ටමේ ආදායම් සහිත පුද්ගලයන් වෙත පෙර පැවති බදු ප්‍රතිශතය පවත්වාගෙන යෑමට අදහස් කර තිබේ. වැට් බදු පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා රජයට හැකියාවක් පවතින බවයි. මෙහිදී සංචාරක, නිෂ්පාදන ආදී අංශයන්හි අවශ්‍යතා ඇති වැට් බදු අවම කර ඇති අතර, අපනයන සේවා සම්බන්ධයෙන් වන IDP, BPO, Shipping සඳහා වන බදුද ඉවත් කර තිබේ. එමෙන්ම Withholding Tax, Capital Gain Tax ආදිය ඉහළ දමා ඇත. තවද බදු නොවන ආදායම් පිළිබඳව අවධානය යොමු කිරීමද මෙහිදී වැදගත් වේ. ඉඩම් කළමනාකරණය තුළින් රජයට අයත් අරමුණක් නොමැතිව ඇති ඉඩම් මෙරට ආදායම් බවට පත්කර ගැනීම සඳහා රජය තීරණය කර තිබේ. රාජ්‍ය සමාගම් තුළ කොටස් විකුණා ඒවා කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයන් සිංගප්පූරුව, උගන්ඩාව, අප්‍රිකානු රටවල් තුළ පවතින අතර එමඟින් පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ආර්ථික ප්රතිලාභ ලබා ගැනීමේ හැකියාව පවතියි. තවද License සහ Fines මඟින් පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර වැරදි කරන ලද පුද්ගලයන්ගෙන් අය කරගන්නා දඩ මුදල් ආදියද බදු නොවන ආදායම් ගණයට වැටේ.
මෙවර අය-වැය තුළින් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබෙන ආකාරය දැක ගත හැකිය. මහල් 16කින් යුත් ජාතික හෘද රෝග ඒකකය ආරම්භ කිරීමේ මූලික වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කර ඇත. මිනිසුන්ගේ ප්‍රාථමික සෞඛ්‍යය සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමුකර ඇත. ඒ අනුව රෝහල් සඳහා නොමිලේ ඖෂධ ලබාදීම, සුවසැරිය සංවර්ධනය කිරීම, තැලිසීමියා රෝගීන් සඳහා මාසික දීමනාවක් ලබාදීම ආදිය සඳහා මෙවර අය-වැය තුළින් ප්‍රතිපාදන වෙන්කර තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ සැලකීමේ දී උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය ආදී අංශ පිළිබඳවද අවධානය යොමු කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11,000ක් වෙන් කිරීම, ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කිරීම, මහපොළ ශිෂ්‍යාධාර මාසික දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීම, අඩු ආදයම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් සහන සැලසීම ආදිය සදහා ප්‍රතිපාදන සැලසීමට රජය කටයුතු කර ඇත.තවද පර්යේෂණ සංවර්ධන කටයුතු සඳහාද මුදල් වෙන් කර ඇති අතර විශ්වවිද්‍යාල තුළ සිදු කරන පර්යේෂණ වාණිජකරණය කර මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්බන්ධ කරගැනීමේ සංකල්පයද බෙහෙවින් වැදගත්ය. මෙවර අය-වැය මඟින් සංවර්ධනය වඩාත් අවශ්‍ය පිරිසකට රැකියා ලබාදීම සඳහා රජය කටයුතු කර තිබේ. ආබාධ සහිත පුද්ගලයන්ගේ සුවිශේෂී හැකියාවන් පිළිබඳ හොඳින් විමසා බලා ඔවුන් රැකියාගත කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇති අතර එහිදී ඔවුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම වැදගත්ය.
ඇති විය හැකි අභියෝග
මෙමඟින් ඉදිරියේදී ආයතන තුළ මෙවැනි පුද්ගලයන්ට ඉල්ලුමක් ඇතිවිය හැකිය. රජය මඟින් මෙය සිදු නොකළහොත් පෞද්ගලික අංශය මඟින් සිදු කරන්නේ නැත. මන්දයක් පෞද්ගලික අංශය ලාභය අරමුණු කරගෙන ක්‍රියාත්මක වීම හේතුවෙනි. මෙම යෝජනා රටේ සහභාගිත්ව සංවර්ධනය ඉලක්ක කර ගැනීමේ තිරසර වැඩපිළිවෙලක් ලෙස සැලකිය හැකිය.
අය-වැය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි අභියෝග පිළිබඳව සැලකීමේදී පළමු අභියෝගය වන්නේ, IMF කොන්දේසි අනුව ක්‍රියාත්මක වීමයි. පසුගිය රජයන් සිදු කළ අදූරදර්ශී, නිසි කළමනාකරණයක් නොමැතිව ගත් විදේශ ණය නිසි අරමුණක් සඳහා වියදම් නොකිරීම සහ තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් භාවිත කිරීමෙන් ඇති වූ අයහපත් ප්‍රතිවිපාක අප අද විඳිමින් සිටියි. එබැවින් IMF කොන්දේසි යටතේ කටයුතු කිරීම වැදගත් වන අතර මෙහිදී මෙය සමබරව සිදු කිරීම අභියෝගයකි. විස්තීර්ණ අරමුදල් පහසුකම් ලබා දුන් IMF කොන්දේසි අනුව කටයුතු නොකළහොත් රජයට බාහිර සහයෝගයක් ලබා ගැනීමට නොහැකිය. එමෙන්ම තවත් අභියෝගයක් වන්නේ, ආණ්ඩුව මඟින් වියදම් කිරීමට අපේක්‍ෂා කරනු ලබන බදු ලබා ගැනීමයි. මෙහිදී ඇති මූලිකගැටලුවක් වන්නේ බදු අය කිරීමේදී අදාළ පුද්ගලයින් පහසුවෙන් ඉන් ගැලවී යාමයි. එම තත්ත්වය වෙනස් විය යුතුය අතර බදු සඳහා යටත් වන සියල්ලන්ම ඒ සඳහා යටත් විය යුතුය. බදු බරින් නිදහස් විය යුත්තන් ඉන් පැහැදිලිවම නිදහස් විය යුතුය. කාර්යක්ෂම බදු ක්‍රමයක් ක්‍රියාත්මක නොකළහොත් රජයට ආදායම් ලැබීම ගැටලුකාරී වේ. තවද රජයට සිය මූලික ආදායමෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කිරීමට සිදුවීමද අභියෝගයකි. ආදායම් මඟින් ලැබෙන මුදල් වැඩි වශයෙන් ණය සහ පොලී වාරික ගෙවීම සඳහා වැය කිරීමට රජයට සිදු වේ. තවද රට නැවතත් යථා තත්ත්වයට පත්වී තිබුණද නිදසුන් ලෙස අමෙරිකානු ජනපතිගේ තීරණ වක්‍ර හෝ සෘජු ලෙස මෙරට ආර්ථිකයට බලපානු ලබයි. එවැනි බාහිර බලපෑම් සඳහා මුහුණ දිය හැකි වැඩපිළිවෙළක් පැවතිය යුතු අතර, ජනතා සහභාගිත්වය ද ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එමෙන්ම රජය ආයතන ප්‍රතිසංස්කරණ කරන විට ඇතැම් පාර්ශ්වයන් මෙයට විරුද්ධ විය හැකිය. එබැවින් එවැනි දේශපාලන ප්රතිවිරෝධතා වළකාලමින් ඉදිරියට ගමන් කිරීමද අභියෝගයකි. රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලි බල මණ්ඩලය ආදී ආයතන විරෝධය පෑවද ඒවා විශාල වශයෙන් පාඩු ලබන ආයතන බැවින් විරුද්ධ වීමට ඇති සාධාරණත්වය අවමය. එවැනි ආයතන නිසි පරිදි කළමනාකරණය කිරීම ද රජය විසින් සිදුකළ යුතුය. තව ද රාජ්‍ය සහ පෞද්ගලික අංශ හවුල්කාරිත්වය යටතේ වූ ක්‍රියාකාරකම් කාර්යක්ෂම ලෙස සිදු කර ගැනීමේ හැකියාව රජයට පැවතිය යුතුය. ආපදා කළමනාකරණය පිළිබඳවද රජය විසින් වැඩි සැලකිල්ලක් යොමු කිරීම වැදගත්ය.
සමස්තයක් ලෙස ගත් විට මෙම අය-වැය ලේඛනය සාර්ව ආර්ථික සම්බන්ධතා රැක ගනිමින් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය වෙත යොමු වූ අය-වැයක් බැවින් මෙය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය.
ඉන්දීවරී පෙරේරා








