කොටහේනේ වෙඩික්කරු 18 හැවිරිදි තරුණයෙක්

කොටහේන 16 වන පටුමගේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු කොටහේන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පුද්ගලයෙකු බවටයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ.

යාපනය – මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් තුන්දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

වෙඩි ප්‍රහාරය සඳහා සැකකරුවන් පැමිණි බවට සැලකෙරෙන මෝටර් රථය ද පොලිසිය සොයාගනු ලැබුවේ පිටකොටුව ආමර් වීදීයේ දමාගොස් තිබියදීයි.

එම මෝටර් රථයේ තිබී ජීව උණ්ඩයක් ද පොලිසිය සොයාගෙන තිබුණා.

අදාළ මෝටර් රථය වෙඩික්කරුවන්ට ලබාදුන් පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගියදා රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි වැදී බිම ඇද වැටුණු පුද්ගලයා යටකරගෙන වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පලායන අයුරු සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙනවා.

අදාල වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසකට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර කලක සිට පවතින ගැටුමක් නිසා සිදුවූ බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව, සංවිධානාත්මක අපරාධකරුවන් වන පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නාගේ පාර්ශවය සහ පලනි රිමෝෂන්ගේ පාර්ශවය අතර කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැකකරන බවයි.