මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වෙමින් භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමට වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම් කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (09) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“ඒ සම්බන්ධයෙන් ඔවුන් පෙරේදා (08) කතා කළා. එම ජාවාරමෙන් ඉවත්වීමට කැමැති බව ද පැවසුවා. මේ ජාවාරම්කරුවන් මැදපෙරදිග සැඟව සිටින ස්ථාන සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති තරුණයන් පුනරුත්ථාපනය කිරීමට උපදේශකයන් (Counsellors) යොදා ගැනීමට කටයුතු කරනවා. එම උපදේශකයන් 250ක් මේ වන විට විශේෂ පුහුණුවකට යොමු කරමින් සිටිනවා.”
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, මවුපියන් සමඟ පැමිණ ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට භාර වන ලෙස ඉල්ලීමක් ද කරනවා. විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිරගත කිරීමෙන් පමණක් මෙය තුරන් කළ නොහැකියි.
කොළඹ දිස්ත්‍රික්කය එක පැත්තකින් මත්ද්‍රව්‍ය ජාලයට සංකීර්ණ දිස්ත්‍රික්කයක් හැටියට හඳුනාගෙන තිබෙනවා. ජනගහනය වැඩියි. විවිධ තලවල ජනතාව ජීවත් වෙනවා. පැල්පත්වාසීන්, මහල් නිවාස ඇතුළු විවිධාකාර ජන ඝනත්වයක් සහිත පවුල් සිටිනවා. වාර්තා වී තිබෙන කරුණු අනුව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය සංසරණය වෙනවා. 1818 ක්ෂණික ඇමතුම් සේවාවට දුරකතන ඇමතුම් 800ක් පමණ ලැබී තියෙනවා.
මත්ද්‍රව්‍ය නිවාරණය පොලීසියට සහ හමුදාවට පමණක් අවසන් කරන්න හැකියාවක් නෑ. ඇබ්බැහිවූවන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමෙන් පමණක් මෙය අවසන් කරන්නත් බෑ. කමිටු 14,000ක් දැන් හදලා අවසන් කර තිබෙනවා. මුළු රටම ආවරණය කෙරෙන ජාලයක් අපි හදා තියෙනවා.
කිසි දෙයක් හොර රහසේ සිද්ධ වෙන්නේ නෑ. සියලු ආයතන, සියලු පළාත් පාලන ආයතනවලත් මෙය ක්‍රියාත්මක වෙනවා. පාසල්වලත් විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍යයන් වගේම ශිෂ්‍ය නායකයන්ගෙන්, ගුරුවරුන්ගෙන් සමන්විත කමිටුව නිර්මාණය කිරීමට අවශ්‍යයි. දරුවන් ඊට ඇබ්බැහිවෙලා තියෙනවා නම් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අතරමැදි නිවෙස්න තුනක් දැනටමත් පුනරුත්ථාපනයට ආරම්භ කර තිබෙනවා.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය යටතේ නිලධාරීන් 250ක් පුහුණු කර පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යොදවනවා. නිවෙසේම තබා පුනරුත්ථාපනය කරන අය හඳුනාගෙන, රෝහල්ගත කළ යුතු මට්ටමේ අය හඳුනාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරනවා.
අතරමැදි නිවෙස්නවල දින 14ක කාලයක් පුනරුත්ථාපන කාලයක් ගත කර සමාජගත කිරීම, මාස තුනක හෝ මාස හයක පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මේ යටතේ සිදු කෙරෙනවා. සෑම දිස්ත්‍රික්කයකම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබෙනවා.
මේ සමාජ පරිසරය වෙනස් නොකර පුනරුත්ථාපනය කර ආපහු මුදාහැරීමෙන් ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා සමාජයක් හැටියට අපි පුනරුත්ථාපනය කරන දරුවා සමාජයට මුදාහැරිය හැකි සමාජයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කිසිවකුටත් දඬුවම් දී ඔවුන් සිරගත කර මේක තුරන් කරන්න හැකියාවක් නෑ. මත්ද්‍රව්‍ය වැටලීම් දිගින් දිගටම සිදු කරනවා. ජාවාරම්කරුවන්, බෙදා හරින්නන් මේ සියලු දෙනා නීතිය රැහැනට කොටු කරගැනීම දිගින් දිගටම සිදු වෙනවා.”
නෙරංජලා වික්‍රමසිංහ








