මහරගම මත් ජාවාරමක් වටලයි – හයක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව‍ය පැකට් කර බෙදා හැරි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් හය දෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිවස තුළ තිබී රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සහ ඒවා පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක්, පැකට් කිරීමට යොදා ගන්නා සීලර් යන්ත්‍රයක්, විද්‍යුත් තරාදි දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය මැනීමට ගන්නා විවිධ ප්‍රමාණයෙන් යුත් කුඩා මිනුම් උපකරණ කිහිපයක්, කුඩා ඉටිකවර සහ ජාවාරමෙන් උපයා ගත් යැයි සැක කෙරෙන රුපියල් 16,800ක මුදලක් ද එහි තිබී හමු වූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ප්‍රධාන සැකකරු 22 හැවිරිදි තරුණයෙකු වන අතර අනෙක් පස්දෙනා ඔහුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම නිවසට පැමිණි අය බව සඳහන් වේ.

තරුණයකුට විසින් පන්නිපිටියයේ නිවසක් රුපියල් 20,000 කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.  

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ලැබෙන අයිස් මත්ද්‍රව්‍ය මෙලෙස පැකට් කර බෙදා හරින බවය.

සැකකරුට මත්ද්‍රව්‍ය ලබාදෙන ප්‍රධාන ජාවාරම්කරු කවුරුන්දැයි සොයා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකය.