ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) උදෑසන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් අණ නොතකා ධාවනයකළ මෝටර් රථයක් පසුපස හඹා ගොස් එම රථය නවතා පරීක්ෂා කර ඇත.

එහිදී එම රථයේ රියදුරු අසුන යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, එම පතරොම් ගැබක් තිබී හමුවී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, මෝටර් රථය හා එහි රියදුරු ලෙස සිටි පුද්ගලයා ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. 

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම අවිය තවත් පුද්ගලයෙකුට ලබාදිමට රැගෙන යන බවට අනාවරණය වීම මත එම පුද්ගලයා ද වත්තල පොලිස් වසමේ මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් වයස අවුරුදු 33ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.