ලොව පුරා වැඩිහිටියන් අතර හෘදයාබාධ ඇතිවීම අඩු වුවද, වයස අවුරුදු 50ට අඩු තරුණ වැඩිහිටියන් අතර හෘදයාබාධ ඇතිවීමේ ප්‍රතිශතය ඉහළ යමින් පවතින බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිකර තිබෙනවා.
නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව පවසන පරිදි බොහෝ වෛද්‍යවරුන් විසින් මෙය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස සලකනු ලබන භයානක ප්‍රවණතාවක්.
සාමාන්‍යයෙන් තරුණ වැඩිහිටියන් ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 20ත් 50ත් අතර පිරිසයි.
අමෙරිකාවේ ජාතික සෞඛ්‍ය සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයට අනුව එරට වයස අවුරුදු 18 සිට 44 දක්වා වැඩිහිටියන් අතර 2019 දී හෘදයාබාධ ඇති වූයේ 0.3% කට පමණයි.
2023 වන විට එම ප්‍රමාණය 0.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර හතරක් තුළ 66% ක වර්ධනයක්.
2000 සිට 2016 දක්වා කාලය තුළ අමෙරිකාවේ රෝහල් දෙකකට හෘදයාබාධ හේතුවෙන් ඇතුළත් කළ තරුණ වැඩිහිටියන් 2,000කට වැඩි පිරිසක් පිළිබඳ අධ්‍යයනයකට අනුව, ඔවුන්ගෙන් 5 දෙනෙකුගෙන් 1 ක් එනම් 20%ක් වයස අවුරුදු 40 හෝ ඊට අඩු අය වූ අයයි. මෙම කණ්ඩායමේ ප්‍රතිශතය පසුගිය දශකය තුළ සෑම වසරකම 2% කින් වැඩි වී තිබෙනවා.
වයස්ගත වැඩිහිටියන් මෙන්ම, හෘදයාබාධයකට ලක් වූ වයස අවුරුදු 40 හෝ ඊට අඩු පුද්ගලයන්ට නැවතත් හෘදයාබාධයකින්, ආඝාතයකින් හෝ වෙනත් හේතුවකින් මියයාමට ඇති ඉඩකඩ සමාන බව මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබුණා.
2020 සිට 2021 දක්වා කාලය තුළ තරුණ වැඩිහිටියන් අතර හෘද රෝග වැඩිවීම, එම වසරේදී අමෙරිකාවේ ආයු අපේක්ෂාව පහත වැටීමට 4% කට වඩා වැඩි ප්‍රමාණයකින් හේතු වී තිබෙනවා.
මෑත සිදුවීම් මෙම ගැටලුව වඩාත් ඉස්මතු කර ඇති අතර 2024 දී, හෘද රෝග අවදානම් සාධක නොදැන සිටි නිරෝගී 38 හැවිරිදි පුද්ගලයෙකු නිව් යෝර්ක් නගර ට්‍රයත්ලෝන් ධාවන තරගයකදී හෘදයාබාධයකට ලක්ව ඇද වැටීම පුවත්වල සිරස්තල බවට පත් වී තිබුණා.
එසේම, 2023 දී 18 හැවිරිදි බ්‍රොනී ජේම්ස් එනම්, පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස්ගේ වැඩිමහල් පුත්‍රයා, පැසිපන්දු පුහුණුව අතරතුර හදිසි හෘදයාබාධයකට ලක් වුණා.
පසුගිය දශක හා සසඳන විට තවත් බොහෝ තරුණ වැඩිහිටියන් සියලු වර්ගවල හෘද ගැටලුවලට මුහුණ දෙන බවට සාක්ෂි මතුවෙමින් පවතින බවයි නැෂනල් ජියෝග්‍රැෆික් වාර්තාව පෙන්වාදෙන්නේ.
මෙයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ නරක ජීවන රටා පුරුදු විශේෂයෙන්ම, දුර්වල ආහාර රටා සහ ව්‍යායාම නොමැතිකමයි.
කොවිඩ්-19 ආසාදන ද මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කරන බව සමහර පර්යේෂණවලින් ඇඟවෙනවා.
ප්‍රධාන අවදානම් සාධක අතර අධි රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් සහ තරබාරුකම ඇතුළත්.
මේ සියල්ල හදවතට ඔක්සිජන් බහුල රුධිරය ගෙන යන ධමනි හා රුධිර වාහිනී අවහිර කිරීමට හා හානි කිරීමට හේතු විය හැකියි. ඊට අමතරව, දුම්කොළ, කොකේන්, මරිජුවානා සහ මත්පැන් භාවිතය ද තරුණ වැඩිහිටියන්ගේ හෘදයාබාධ අවදානම් වැඩි වීම සමඟ සම්බන්ධ වී තිබෙනවා.
සාමාන්‍යයෙන් හෘදයාබාධ පිරිමින්ට වැඩි වශයෙන් බලපෑවද, මෑත අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ තරුණ කාන්තාවන් වැඩිම ප්‍රතිශතයකට හෘදයාබාධවලට මුහුණ දෙන බවත් සහ ඔවුන්ගේ ප්‍රතිඵල වඩාත් නරක අතට හැරෙන බවයි.
වයස අවුරුදු 35 ත් 54 ත් අතර පුද්ගලයින්ගේ හෘදයාබාධ හේතුවෙන් රෝහල්ගතවීම් පිළිබඳ 2018 අධ්‍යයනයකින් හෙළි වූයේ, තරුණ පිරිමින්ගේ රෝහල්ගතවීම් 30% සිට 33% දක්වා වැඩි වන විට, තරුණ කාන්තාවන්ගේ රෝහල්ගතවීම් 21% සිට 31% දක්වා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
වෛද්‍යවරුන් බොහෝ විට කාන්තාවන්ගේ රෝග ලක්ෂණ නොසලකා හැරීමට සහ අවදානම් සාධක නිවැරදිව හඳුනා නොගැනීමට වැඩි ඉඩක් ඇති බව ද අධ්‍යයනයන් පෙන්වා දෙනවා.
බොහෝ තරුණ වැඩිහිටියන් තවමත් මෙම අවදානම ගැන සැලකිල්ලක් නොදක්වන බව පෙනී යන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
2023 සමීක්ෂණයකින් හෙළි වූයේ, අවුරුදු 45 ට අඩු පුද්ගලයන්ගෙන් 47% ක් තමන්ට හෘද රෝග අවදානමක් ඇතැයි නොසිතන බවයි. එපමණක් නොව, හෘදයාබාධ ඇතිවීමට පෙර සැලකිය යුතු අවදානම් සාධක තිබූ තරුණ වැඩිහිටියන් 3,500 කින් අඩක් පමණක් තමන් අවදානමට ලක්ව ඇතැයි විශ්වාස කරනවා.
බ්‍රිග්හැම් සහ කාන්තා රෝහලේ ජ්‍යෙෂ්ඨ වැළැක්වීමේ හෘද රෝග විශේෂඥයෙකු වන ආචාර්ය රොන් බ්ලැන්ක්ස්ටයින් පවසන්නේ, “තරුණ පුද්ගලයන් හෘදයාබාධවලින් හෝ හෘද රෝගවලින් නිදහස් නැතත්, බොහෝදෙනා තවමත් සිතන්නේ මෙය වැඩිහිටි අයගේ රෝගයක් බවයි”.
ආචාර්ය බ්ලැන්ක්ස්ටයින් අවධාරණය කරන්නේ, “හෘදවාහිනී රෝග, බොහෝ දුරට, ඔබ නිවැරදි පියවර ගන්නේ නම් වැළැක්විය හැකි” බවයි.
ඇමරිකානු හෘද සංගමය (AHA) මගින් හෘදවාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ‘ජීවිතයට අත්‍යවශ්‍ය 8’ (Life’s Essential 8) අනුගමනය කිරීම නිර්දේශ කරනවා.
එනම්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්, දුම්කොළ භාවිතයෙන් තොර වීම, ප්‍රමාණවත් නින්ද, ශරීර බර කළමනාකරණය, කොලෙස්ටරෝල් කළමනාකරණය, රුධිර සීනි කළමනාකරණය, රුධිර පීඩනය කළමනාකරණය යනු එම නිර්දේශයි.
මෙම මාර්ගෝපදේශ අනුගමනය කරන තරුණ වැඩිහිටියන්ට එනම්, අවුරුදු 21-27 හෘද වාහිනී රෝග සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු බව 2024 දී පළ වූ අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.
වයස අවුරුදු 30 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා අවදානම් ගණනය කිරීමේ නව ක්‍රමවේද ඇතුළත් කිරීමත් සමඟ, සෞඛ්‍ය සේවා පද්ධතිය ද තරුණ රෝගීන්ගේ අවදානම් හඳුනාගැනීම සඳහා යාවත්කාලීන වෙමින් පවතින බව සඳහන්.








