වවුචර වෙනුවට පාවහන් දීමේ නියමු ව්‍යාපෘතියක්

සිසුන් 250ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර වෙනුවට ප්‍රමිතියෙන් යුතු දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් සමඟ ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (06) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර හා දකුණු පළාතේ පාසල් 1,266ක සිසුන් 145,723ක් සඳහා ක්‍රියාත්මක වේ.

මෙය ක්‍රියාත්මක කිරීමෙන් වසරක වගකීමක් සහිත ප්‍රමිතියෙන් යුතු පාවහන් යුගලක් සඳහා රුපියල් 2100.00ක මුදලක් පමණක් ලබා ගැනීමටත්, දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් එකඟ වූ අතර එමඟින් රුපියල් මිලියන 140කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට නියමිතය. එම ඉතිරි කරන ලද මුදලින් මෙම පළාත් දෙකේ තවත් පාසල් දරුවන් 62,481කට පාවහන් ලබාදීමට ද සාකච්ඡා කෙරිණි.

මෙම ව්‍යාපෘතියට සැපයුම්කරුවන් තේරීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය පාවහන් නිෂ්පාදකයන් පමණක් තෝරාගැනේ. පාවහන් නිෂ්පාදකයන් තෝරාගත් පාසල්වලට පැමිණ පාසල් සිසුන්ට ප්‍රමාණයෙන් ගැළපෙන පාවහන් ලබාදීමට එකඟ විය.