මහාචාර්ය හිමිනමක ලෙස සහ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් නායක හිමිනමකගේ බැංකු ගිණුමකින් රුපියල් දෙකෝටි අටලක්ෂ හත්දහසක මුදලක් වංචාසහගතව ලබාගත් පුද්ගලයන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පාණදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇළ, ඒකල, මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචි 33,34, 45 සහ 48 හැවිරිදි පුද්ගලයන් බව පොලීසිය කීය. පාණදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක මහාචාර්ය නායක හිමිනමක විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කීය.
නායක හිමිගේ හැඳුනුම්පතට සමාන හැඳුනුම්පතක් සකස් කරගෙන සැකකරුවන් ඉතා සූක්ෂ්ම ලෙස උන්වහන්සේගේ ගිණුමෙන් මුදල් ලබාගෙන තිබූ බව පොලීසිය කීය. සැකකරුවෙක් මෙම වංචාවට සම්බන්ධව ඇත්තේ සිවුරක් ද ඇඟලාගෙන බව පොලීසිය පවසයි.
සැකකරුවන් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරයි.
කළුතර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණී, පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්ත විජයසිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (12175) පෙරේරා, (863) රවීන්ද්‍ර, (40354) සමන්, (44649) විජේවීර, කාන්තා සැරයන් (7300) තනූජා, කොස්තාපල්වරුන් වන (102160) කෝසල සහ කාන්තා (11884) දුලංගා නිලධාරීහු වැටලීමට එක්වූහ.







