මත්ද්‍රව්‍ය වැටලීම් 8,175කින් 8,084ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු දින සිට ගතවූ සතියේ දිවයින පුරා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් 8,175කින් පුද්ගලයන් 8,084ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි පෙරේදා (05) දින වැටලීම් 1,053ක් සිදුකර සැකකරුවන් 980ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 03 ග්‍රෑම් 321ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01ග්‍රෑම් 107ක්, කොකේන් ග්‍රෑම් 48ක්, ගංජා කිලෝ 54 ග්‍රෑම් 434ක්, ගංජා පැළ 204,548ක්, හෂීෂ් කිලෝ 11 ග්‍රෑම් 325ක්, මත් පෙති 6,674ක්, මදනමෝදක ග්‍රෑම් 08ක්, මාවා ග්‍රෑම් 27ක් පොලිස් භාරයට ගෙන ඇත.

එම මෙහෙයුමේදී නීති විරෝධි වත්කම් විමර්ශන සැකකරුවන් 09 දෙනකු සම්බන්ධයෙන් ආරම්භ කර ඇත. සැකකරුවන් 19 දෙනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. සැකකරුවන් 04 දෙනකු පුනරුත්ථාපනයට යොමු කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.