වයඹදිග පැසිෆික් කලාපයේ ඇති වූ ප්‍රබල සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්, පිලිපීනයට බලපෑම් එල්ල කරමින් අවම වශයෙන් පුද්ගලයන් 114 දෙනෙකුට මරු කැඳවූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී තිබෙනවා.
කල්මේගී සුළිකුණාටුව සිකුරාදා දිනයේදී වියට්නාමයට ද බලපෑවා.
වියට්නාමය වසරේ මෙම කාලය තුළ ගොඩබිමට කඩා වදින සුළිකුණාටුවලට ගොදුරු වීමට නැඹුරුතාවයක් දක්වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
තවත් සුළිකුණාටුව වන ෆොං-වොං (Fong-Wong) ඉරිදා පමණ වන විට පිලිපීනයට බලපෑමට නියමිතයි.
ඒ වනවිට එය ප්‍රධාන කුණාටුවක් දක්වා ශක්තිමත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
කාලගුණ විශේෂඥයන් සඳහන් කළේ කල්මේගී සුළිකුණාටුව කුණාටු අතරින් ශක්තිමත් එකක් බවයි.
පිලිපීනයේදී එහි උපරිම සුළං වේගය පැයට සැතපුම් 132 (213 kph) දක්වා ළඟා වූ අතර, බිම මත තිරසාර සුළං වේගය පැයට සැතපුම් 93 (150 kph) ක් ලෙස සටහන් වී තිබුණා.
සුළගේ වේගය පැයට සැතපුම් 39 (63 kph) දක්වා ළඟා වූ විට කුණාටුවකට නමක් ලැබී එය නිවර්තන කුණාටුවක් (tropical storm) ලෙස සැලකෙනවා.
සුළං වේගය පැයට සැතපුම් 74 (119 kph) දක්වා ළඟා වූ විට එය කුණාටුවක්, සුළිකුණාටුවක් හෝ චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වනවා.
සුළං වේගය පැයට සැතපුම් 155 (249 kph) ඉක්මවා යන විට ඉහළම ප්‍රවර්ගය වන 5ට ළඟා වනබව කියැවෙනවා.
වයඹදිග පැසිෆික් කලාපය, එනම් ටයිෆූන් කල්මෑගී බලපෑ ප්‍රදේශය, පෘථිවියේම නිවර්තන කුණාටු ඇතිවන කාර්යබහුලම ස්ථානය ලෙස සැලකෙනවා.
ඊට හේතු වන්නේ වසර පුරා පවතින උණුසුම් ජලය, දුර්වල ඉහළ මට්ටමේ හරස් සුළං සහ කුණාටු ඇතිවීම සඳහා අවශ්‍ය බීජ සපයන නිරන්තර ගිගුරුම් සහිත වැසි ක්‍රියාකාරකම්.
කොලරාඩෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව, වයඹදිග පැසිෆික් කලාපයේ සාමාන්‍ය වසරකදී නම් කරන ලද කුණාටු 27 ක් ඇති වනවා.
මෙම කාලය වන විට සාමාන්‍යයෙන් නම් කරන ලද කුණාටු 23 ක් ඇති වී ඉන් 14 ක් චණ්ඩ සුළිකුණාටු බවට පත්වෙනවා.
කල්මේගී යනු 26 වැනි නම් කරන ලද කුණාටුව වන අතර ෆොං-වොං 27 වැනි කුණාටුවයි.
කල්මේගී මෙම වාරයේ වාර්තා වූ සිව්වන ශක්තිමත්ම සුළිකුණාටුව වනවා.
මෙම කුණාටු නිල වශයෙන් නිවර්තන සුළිකුණාටු ලෙස හැඳින්වුවද, ඒවා ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ නම්වලින් හඳුන්වනවා.
Hurricane: අත්ලාන්තික්, කැරිබියන් මුහුද, මධ්‍යම සහ ඊසානදිග පැසිෆික් මුහුදේ ද, Typhoon: වයඹදිග පැසිෆික් මුහුදේ ද, Cyclone: බෙංගාල බොක්ක සහ අරාබි මුහුදේ ද, Severe Tropical Cyclones: නිරිතදිග පැසිෆික් සහ අග්නිදිග ඉන්දියානු සාගරයේ ද හටගැනෙනවා.
කුණාටුවක් මගින් විශාල හානියක් හෝ මරණ සංඛ්‍යාවක් සිදුවුවහොත්, ව්‍යාකූලත්වය වළක්වා ගැනීම සඳහා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් නාම ලැයිස්තුවලින් එම නම් ඉවත් කර වෙනුවට නව නම් එකතු කරනවා.
නිදසුනක් වශයෙන්, 2005 දී නිව් ඕර්ලියන්ස් විනාශ කළ පසු ‘කැට්රිනා’ නම ඉවත් කර තිබුණා.
පිලිපීනයට ඔවුන්ගේම නාමකරණ පද්ධතියක් ඇති බැවින්, කල්මේගී කුණාටුව ‘ටිනෝ’ ලෙසද හඳුන්වනු ලබනවා.
මෙම කුණාටු ඇතිවීමට මැඩන්-ජූලියන් දෝලනය නම් වායුගෝලීය කැළඹීමක් උපකාරී වූ බව වාර්තා වනවා.
මෙය ඉන්දියානු සාගරය ආශ්‍රිතව ආරම්භ වී නැගෙනහිර දෙසට ගමන් කරන ස්වභාවික පද්ධතියක් වන අතර එය නිවර්තන සුළිකුණාටු ක්‍රියාකාරකම් ඇතිකළ හැකියි.








