2026 වසර සඳහා වන අය – වැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (07) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.2026 අය – වැයෙහි පළමු වර කියවීම හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය සැප්තැම්බර් 26 වැනිදා සිදු කරනු ලැබීය. අය – වැය කතාව හෙවත් අය – වැය (දෙවැනි වර කියවීම) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාළ විවාදය දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.
ජනපතිවරයා අය – වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අය – වැය පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 08 වැනිදා සිට 14 දක්වා පුරා දින හයක් පැවැත්වීමට නියමිතය. ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනි දින පස්වරු 6.00ට පැවැත්වීමට තීරණය කර ඇත.
අය – වැය පිළිබඳ තෙවැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා දින 17ක් පුරා පැවැත්වේ. අය – වැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වන දින සවස 6.00ට පැවැත්වේ. 2026 වසර සඳහා වන අය-වැය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙට (07) දිනයේදී පාර්ලිමේන්තු පරිශ්‍රය හා ඒ අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් හා රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ. අය – වැය විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය මන්ත්‍රීවරුන්ගේ ඇඳුම් කාමර මෙන්ම ඒ අවට ද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීම සිදු වේ. 07 වැනිදා පාර්ලිමේන්තු ගැලරිය විශේෂ ආරාධිතයන්ට පමණක් සීමා කර ඇත. 2026 වසර සඳහා අය – වැය විවාදයට සවන්දීම සඳහා දෙස් විදෙස් ආරාධියන් ද සහභාගි වීමට නියමිතය.
අය – වැය විවාදය පැවැත්වෙන කාලසීමාවේ පාර්ලිමේන්තුව ඉරිදා දින සහ රජයේ නිවාඩු දින හැර, සෙනසුරාදා දින ද ඇතුළුව සෑම සතියේ දිනකම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
අය- වැය විවාදය පැවැත්වෙන කාලසිමාවේ සඳුදා දිනවල පෙරවරු . 9:30ටත්, අනෙකුත් සියලුම දිනවල පෙරවරු 9.00ටත් පාර්ලිමේන්තුව රැස්වේ. විවාදය සඳහා වැඩි වේලාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වන වේලාව සහ විවාදය අවසාන කරන වේලාව පස්වරු 6.00 දක්වා දීර්ඝ කිරීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණ.
අය – වැය විවාදය වකවානුවේදී දිනපතා වාචික ප්‍රශ්න පහක්, ස්ථාවර නියෝග 27 (2) යටතේ එක් ප්‍රශ්නයක් සහ ස්ථාවර නියෝග 22 (1) සිට (6) දක්වා යටතේ වන කටයුතු සඳහා ද කාලය වෙන්කර ඇත.
ජාතික ජනබලවේග රජය සිය දෙවැනි අය – වැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ.








