යෝෂිත සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 කැඳවන ලෙස නියෝග

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කර තිබෙනවා.

මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී පැමිණිල්ල විසින් මෙම නඩුකරයට අදාල ලේඛන කීපයක් විත්ති පාර්ශ්වයට භාරදෙනු ලැබුවා.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන 12 වැනිදා කැඳවන ලෙස නියෝග කළ බවයි සඳහන් වන්නේ.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.