ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දැනට අනුමත බඳවාගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරින් බඳවාගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරුවලට කාන්තා නිලධාරින් බඳවාගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇත.
වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
වසර 165ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්රයත්නයක් ලෙස ක්‍රියාත්මක වන සේවාවකි. එම දෙපාර්තමේන්තුව යටතේ වන දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු දුම්රිය සේවය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරින් පමණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසරවල පමණක් කාන්තා නිලධාරින් බඳවාගනු ලැබ ඇත.
රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවාගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දීමට කටයුතු කරමින් පවතී.








