සුනාමි පෙරහුරු අභ්‍යාසය අද, අනියත බියක් ඇති කරගන්න එපා – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දීය සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය අද (05) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ඉන්දීය සාගර සුනාමි අභ්‍යාසයට අනුගතව, පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මඟින් ජනිත වන සුනාමි තත්ත්වයකදී, එක් එක් ආයතන තම ආයතනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට පුහුණුවක් ලබාදීම මේ හරහා සිදු කිරීමට නියමිතයි.

ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 05 ක් ඇතුළත් වන අතර, ප්‍රධාන පෙරහුරුව අද උදෑසන 8.30 සිට කළුතර දිස්ත්‍රික්කයේදී ආරම්භ වන බවයි සඳහන් වන්නේ.

මෙය යුනෙස්කෝ (UNESCO) නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන විශේෂ අභ්‍යාසයක් පමණක් වන අතර, මෙම වැඩසටහන පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.