චරිත රත්වත්තේ ඇප මත මුදා හරියි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කරනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත්, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.

ඊට අමතරව, සැකකරු විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවට තවත් නියෝගයක් පනවනු ලැබුුණු බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 23 වෙනිදා කැඳවීමට අධිකරණය නියම කර තිබෙනවා.

2015 වසරේ අග්‍රාමාත්‍ය උපදේශකවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, අවශ්‍යතාවයක් නොමැතිව, වී ගබඩා කිරීම සඳහා යොදාගන්නා කොකුන් උපකරණ 50 ක් විධිමත් භාණ්ඩ මිලදී ගැනීමේ පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව, තමන් විසින් හඳුන්වාදුන් සමාගමකින් මිලදී ගැනීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා නිලධාරීන්ට බලපෑම් කර තිබෙන බවට සැකකාර චරිත රත්වත්තේ වෙත චෝදනා එල්ල වී තිබෙනවා.

එම ක්‍රියාව තුළින් සැකකරු විසින් රුපියල්  99,679,799.70 ක පාඩුවක් රජයට සිදුකිරීම සහ බාහිර පාර්ශ්වයක් වෙත වාසියක් සලසාදීම යන චෝදනා මත සැකපිට චරිත රත්වත්තේ අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.