පාරිසරික-සමාජීය ගැටලු ජනතා විරෝධය සැලකිල්ලට ගනී / ජනපතිගේ දැනුම්දීමට කැබිනට්ටුවේ එකඟතාව
ජනතා කැමැත්තෙන් තොරව මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දන්වා ඇත. ඊට අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයද හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා එසේ පැවසීය.
නිලධාරීන්ට ජනාධිපතිවරයා ලබාදුන් දැනුම්දීම බලශක්ති ඇමැති, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඇමැති මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීමට ඇමැති මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කළ බව ඇමැති නලින්ද ජයතිස්ස මහතා කීවේය.
දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ තිබෙන බව ඇමැතිවරයා කියා සිටියේය.
අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙළින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඇමැතිවරයා පැවසීය.
එහෙත් ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දුපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නුවන් කොඩිකාර








