රාජ්‍ය සේවය සඳහා 60,000ක පිරිසක් බඳවා ගැනීමේ කටයුතු ඇරඹේ

රාජ්‍ය සේවයේ විවිධ පුරප්පාඩු පවතින බවත්, එම නිසා රාජ්‍ය සේවය සඳහා 60,000ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න සඳහන් කළා.

පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් පුද්ගලයින් 30,000 ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කළ බවත්, එහි එක් පියවරක් ලෙස දීප ව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනු කමිටුවේ නිර්දේශ මත, 226 දෙනෙක් ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් ඇති බවත්, පසුගිය මාර්තු මාසයේ පැවති විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් කණ්ඩායම අතරින් 226 දෙනෙක් ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා අවශ්‍ය තෝරා ගැනීමේ කටයුතු සිදුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.