නේපාල තානාපතිවරුන් යළි කැඳවීමේ අගමැති තීරණය උසාවියෙන් රිවස්

නේපාලයේ තානාපතිවරුන් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවීම නැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එය අග්‍රාමාත්‍ය සුශීලා කාර්කි සහ ඇගේ අන්තර්වාර රජයට පසුබෑමක් බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

නේපාල රජය පෙරළා දැමූ මාරාන්තික දූෂණ විරෝධී විරෝධතාවලින් පසුව, සැප්තැම්බර් මාසයේදී රටේ පළමු කාන්තා නායිකාව ලෙස පත් කරන ලද හිටපු අග්‍ර විනිශ්චයකාරවරිය වන කාර්කි, ඇගේ පූර්වගාමී කේ.පී. ෂර්මා ඔලි විසින් පත් කරන ලද තානාපතිවරුන් 11 දෙනෙකු යළි කැඳවනු ලැබුවා.

 මෙලෙස යළි කැඳවීමට නියෝග කළ තානාපතිවරුන් චීනය, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ජපානය වැනි රටවල් නියෝජනය කරනවා.

මෙම තානාපතිවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේදී රජය සඳහන් කළේ, ඔවුන්ගේ කාර්ය සාධනය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවයි.

කෙසේ වෙතත්, කාර්කිගේ තීරණයට අභියෝග කළ ස්වාධීන නීතිඥ අනන්ත රාජ් ලුයිටෙල්ට අනුව, “රජයට උසාවියේදී තානාපතිවරුන්ට එරෙහිව එල්ල කළ චෝදනා සාධාරණීකරණය කිරීමට නොහැකි වුණා”. ලුයිටෙල් වැඩිදුරටත් පැවසුවේ සියලුම තානාපතිවරුන් සුපුරුදු පරිදි තම තනතුරුවල දිගටම කටයුතු කරනු ඇති බවයි.

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ජග්දිෂ් කරේල් පවසා සිටියේ රජය “ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට ගරු කරන” බවයි.

දේශපාලන විශ්ලේෂක පුරන්ජන් ආචාර්යවරයා සඳහන් කළේ මෙම අධිකරණ නියෝගය අග්‍රාමාත්‍ය කාර්කිට පසුබෑමක් බවයි.

ජෙනරේෂන් ඉසෙඩ් හෙවත් ජෙන්-සී (Gen Z) ජනතාවගේ පීඩනය යටතේ ඇය තානාපතිවරුන් යළි කැඳවූ බවත්, එය රජයට උසාවියේදී ආරක්ෂා කර ගැනීම දුෂ්කර බව ඇය දැන සිටි බවත් පුරන්ජන් පැවසුවා.

මෙම Gen Z ව්‍යාපාරය, ප්‍රධාන වශයෙන් තරුණ ආධාරකරුවන්ගේ වයස අනුව නම් කර ඇති අතර, සැප්තැම්බර් මස මුලදී පැවති විරෝධතාවලදී පුද්ගලයන් 76 දෙනෙකු මිය ගොස් 1,300 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

Gen Z විරෝධතාකරුවන්, ඔලි විසින් පත් කරන ලද දූෂණ විරෝධී ආයතනයේ ප්‍රධානියා ඇතුළු තවත් සමහර නිලධාරීන් ඉවත් කරන ලෙස ද කර්කිට බල කරමින් සිටිනවා.

වයස අවුරුදු 73ක් වන කාර්කිට, මාර්තු 5 වන විට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට නව මැතිවරණ පැවැත්වීමේ වගකීම පැවරී තිබෙනවා.

ඇය දැනට කුඩා කැබිනට්ටුවක් පත් කර තිබෙනවා.