අල, ලූනු සහ බඩඉරිඟු ගොවීන්ගෙන් මැසිවිලි

අල, ලූනු, බඩඉරිඟු‍ ඇතුළු ඇතැම් වගාවන් සඳහා නිසි මිලක් නොමැති වීම හමුවේ දේශීය ගොවියා දැඩි පිඩාවට පත්ව සිටිනවා.

රජය, සතොස හරහා රුපියල් 140ක මිලකට ලොකු ලූනු මිල දී ගැනීමට ක්‍රමවේදයක් සකස්කර ඇති නමුත් ගොවීන්ගෙන් ඊට එල්ල වන්නේ දැඩි විරෝධයක්.

අවම වශයෙන් රුපියල් 200 ක මිලක් ලොකු ලූනුවලට ලබාදෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ අතිරේක භෝගයක් ලෙස සත්ව ආහාර සඳහා මැදවච්චිය – සංගිලිකනදරාව ප්‍රදේශයේ කුඹුරු ඉඩම්වල බඩඉරිඟු‍ වගාකළ ගොවීන්, අපහසුතාවයට පත්ව සිටිනවා.

බඩඉරිඟු‍ විකුණා ගැනීම සඳහා නිලධාරීන් මැදිහත් වන බව පැවසුව ද ඔවුන් එය මගහැරීම නිසා තමන්ට මෙම තත්ත්වය උදාවී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, මෙවර යල කන්නයේ අර්තාපල් අස්වනු සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් සිය අස්වනු අලෙවි කරගැනීමට නොහැකිව නිවෙස් තුළ ගොඩගසා ගැනීමට සිදුව ඇති බව දේශීය අර්තාපල් ගොවීන් පෙන්වා දෙනවා.

මේ වනවිට වැලිමඩ, ඌව පරණගම, බෝගහකුඹුර, බොරලන්ද වැනි ප්‍රදේශවල අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතින අතර ගොවීන් පෙන්වා දෙන්නේ රුපියල් 160 ට ඒවා අලෙවි කිරීමෙන් කිසිඳු ලාබයක් නොමැති බවයි.

කෙසේ වෙතත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කියා සිටියේ මෙම ගැටළුව විසඳිමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි.