සපත්තු ගන්න පොලිස් නිලධාරීන්ගේ අතටම රුපියල් 7000ක්: නිල ඇඳුම් සඳහාත් දීමනාවක්

පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නිල ඇඳුම් සහ සපත්තු ලබා ගැනීම සඳහා ඊට අදාළ මුදල් පොලිස් නිලධාරීන්ටම ලබාදීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති අතර සපත්තු ජෝඩුවක් සඳහා රුපියල් 7000ක මුදලක් ලබාදීමට ද නියමිතයි.

මීට අදාළ යෝජනාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය වසර තුළදී නිල ඇඳුම් සහ සපත්තු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ නිසා පොලිස් නිලධාරීන්ට නිල ඇඳුම් සහ සපත්තු ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ ගැන අවධානය යොමු කළ ආනන්ද විජේපාල අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති නිසා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නිල ඇඳුම් සහ සපත්තු ලබා ගැනීමට අදාළව ඔවුන්ට මුදල් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවයි.

මේ අනුව මෙම වසර සඳහා ඉදිරියේදී පොලිස් නිලධාරීන් අසූ දෙදහසකට නිල ඇඳුම් සහ සපත්තු මිලදී ගැනීම සඳහා අදාළ මුදල් හිමිවීමට නියමිතව තිබෙනවා.

සපත්තු ජෝඩුවක් වෙනුවෙන් රුපියල් හත්දහසක මුදලක් ද ලබා දීමට නියමිතයි.