අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) නියෝග කළේය.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී යාපා වැයිහේන, දියණිය වන චන්දුල රමාලි රඹුක්වැල්ල එක් දියණියකගේ සැමියා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙනිය විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර ලබා නොදී මෙලෙස ප්‍රතික්ෂේප කෙරිණි. අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නීති අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධාරින් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණු දැක්වීමට අනුව විනිසුරු මඬුල්ල මෙම නියෝගය සිදු කළේය.
එකී ඉල්ලීම විභාගයට ගැනීමට තරම් නෛතික කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත්වීම යන බව නිගමනය කරමින් උත්තරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස සිදු කර තිබූ ඉල්ලීම විනිසුරු මඬුල්ල විසින් මෙලෙස ප්‍රතික්ෂේප කළේය. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, කොමිෂන් සභාවේ අංක දෙක විමර්ශන ඒකකයේ සහකාර අධ්යක්ෂවරයා, කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කොමසාරිස්වරුන් නම් කර තිබිණි.
එකී පෙත්සම්කරුවන් තිදෙනාගේ නමින් පෞද්ගලික බැංකුවල පවත්වාගෙන යන රුපියල් මිලියන 44කට අධික වටිනාකමකින් යුක්ත ස්ථාවර තැන්පත් ගිණුම් දෙකක් ජීවිත රක්ෂණ ඔප්පුවක්, පෙත්සම්කරුවන්ගේ නමින් වෙනත් බැංකුවල පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුමක, ඉතිරි කිරීමේ ගිණුම් කිහිපයක්, රුපියල් ලක්ෂ 100කට අධික වටිනාකමකින් යුක්ත සුඛෝපභෝගී වාහනයක් ඇතුළු තහනමට ලක් කර ඇති දේපළ කිහිපයක් සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ජනක් ද සිල්වා, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, සම්පත් පී. අබේකෝන් යන මහත්වරුන්ගෙන් යුක්ත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
මඬුලක් මෙම නියෝගය නිකුත් කළහ.
සුභාෂිණී සේනානායක








