ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ ලියාපදිංචි සංගම් 29කින් සංගම් 3ක ඡන්ද බලය අහිමි කිරීමට නෙට්බෝල් නිලවරණ කමිටුව තීරණය කරයි. ගිණුම් වාර්තා නිසි පරිදි ඉදිරිපත් නොකිරීම, ලේඛන සහතික නොකිරීම හා ජාතික තරගවලට සහභාගි නොවීම හේතුකොට ගෙන අම්පාර දිස්ත්‍රික් නෙට්බෝල් සංගමය, කොළඹ දිස්ත්‍රික් නෙට්බෝල් සංගමය හා මාතර දිස්ත්‍රික් නෙට්බෝල් සංගමය ඡන්ද බලය තහනම් කොට ඇත.
විවිධ විරෝධතා ඉදිරිපත් කිරීම හා අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් නිලවරණය වසරකට අධික කාලයක් පවත්වා ගැනීමට නොහැකි වූ අතර, පසුගිය ජූනි මාසයේ අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව යළි නිලවරණය පැවැත්වීමේ කටයුතු ආරම්භ කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණයට අදාළ නාමයෝජනා කැඳවීම පසුගිය 27 වැනිදා ආරම්භ වූ අතර, අද පෙරවරු 11. 30ට එම කටයුතු අවසන් වේ.
අවසන් වරට කැඳවූ නිලවරණයේදී නෙට්බෝල් සභාපති තනතුරට තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය හා වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය නාමයෝජනා ලබාදී තිබූ අතර, නිලවරණය කල් යෑම හේතුවෙන් හේරත් මහත්මිය සිය ඉල්ලා අස්වීම නිවේදනය කළාය. ලේකම් තනතුරට සංජීවනී වනසිංහ මහත්මිය හා රේනුකා කුරුප්පු මහත්මිය නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර, පසුගිය නිලවරණයේදී නියෝජ්‍ය සභාපති තනතුරට නාමයෝජනාදී සිටි කළුතර දිස්ත්‍රික් නෙට්බෝල් සංගමයේ වජිරා නෙත්තිකුමාර මහත්මිය මෙවර සභාපති තනතුරට නාමයෝජනා ලබාදී ඇතැයි වාර්තා වේ.








