අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය – 2025ට අදාළ උපකාරක පන්ති හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය දැනුම් දෙයි.
උසස් පෙළ විභාගය මේ මස 10 වැනිදා ආරම්භ කර දෙසැම්බර් මස 05 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.
මේ කාලයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විදත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහනම් කර තිබේ.
යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මේ නියෝග නොසලකා ක්‍රියා කළොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශ්වය ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවකු වන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසන්නීය. විභාග නියෝග කඩ කරන අයකු වේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ළඟම තිබෙන පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකිය.
පොලිස් මූලස්ථානයට 011-2421111, පොලිස් හදිසි ඇමතුම් අංකයට 119, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය 1911, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 011-2784208, 011-2784537 අංකවලට විභාග පැමිණිලි දැනුම් දිය හැකිය.








