මාලදිවයින විසින් 2007 ජනවාරි 1 වන දින හෝ ඉන්පසුව උපත ලැබූ ඕනෑම පුද්ගලයෙකුට එරට තුළ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම, භාවිතා කිරීම හෝ ඔවුන්ට අලෙවි කිරීම තහනම් කර තිබෙනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම තහනම පසුගිය සෙනසුරාදා සිට බලාත්මක වූ බවයි.
නව තහනම හේතුවෙන්, මෙවැනි තහනමක් ක්‍රියාත්මක කරන ලෝකයේ එකම රට බවට මාලදිවයින පත්වෙනවා.
මෙම තහනම සියලු ආකාරයේ දුම්කොළ සඳහා අදාළ වනවා.
මේ යටතේ සිල්ලර වෙළෙන්ඳන් අලෙවියට පෙර වයස තහවුරු කර ගැනීම අනිවාර්යයි.
නව ප්‍රතිපත්තියට ජනාධිපති මොහොමඩ් මුයිසු විසින් මෙම වසර මුලදී අනුමැතිය ලබාදෙන ලද්දක්.
මෙම පියවරේ ප්‍රධාන අරමුණ වන්නේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ දුම්කොළවලින් තොර පරම්පරාවක් ප්‍රවර්ධනය කිරීම යන්නයි.
මෙම පුළුල් තහනම යටතේ, විද්‍යුත් සිගරට් සහ වේපින් නිෂ්පාදන ආනයනය, විකිණීම, බෙදාහැරීම, සන්තකයේ තබාගැනීම සහ භාවිතය ද ඇතුළත් වනවා.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, විද්‍යුත් සිගරට් සහ වේප් තහනම වයස් භේදයකින් තොරව සියලුම පුද්ගලයන්ට අදාළ වීමයි.
සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රසිද්ධ, දකුණු ආසියානු දූපත් සමූහයක් වන මාලදිවයිනට පැමිණෙන සංචාරකයන්ට ද මෙම පුළුල් තහනම අදාළයි.
තහනම උල්ලංඝනය කළහොත් අවම වයස් සීමාවට අඩු පුද්ගලයෙකුට දුම්කොළ නිෂ්පාදන විකිණීම සඳහා රුෆියා 50,000 ($3,200) ක දඩයක් නියම වනවා.
තහනම් කරන ලද වේප් උපාංග භාවිතා කිරීම සඳහා රුෆියා 5,000 ක දඩයක් නියම වන බවයි එරට වාර්තා පවසන්නේ.
මෙවැනි පරම්පරා අනුව දුම්පාන විරෝධී නීතියක් මුලින්ම පැනවූ රට ලෙස සැලකෙන්නේ නවසීලන්තයයි.
කෙසේ වෙතත්, නවසීලන්තය එම නීතිය හඳුන්වා දීමෙන් වසරකටත් අඩු කාලයකට පසු, 2023 නොවැම්බර් මාසයේදී එය අවලංගු කර තිබුණා.








