ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව ගොනු කළ නඩුව ඉවත්කරගත් බවට කරන චෝදනාවල කිසිදු පදනමක් නැතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ නඩුව අවසන් වූයේ අපේක්ෂිත අරමුණු ඉටුවූ පසුව බවයි.
යාපහුව රාජධානියට අයත් කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා ඉවත් කෙරුණේ 2020 ජූලි 15 වැනිදායි.
ඒ සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීවට චෝදනා එල්ල වූ අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක්ද සිදු කෙරුණා.
එම නඩු කටයුත්තෙන් ඉවත් වීම හරහා කුරුණෑගල මහ නගර සභාවට රුපියල් මිලියන 3.5කට ආසන්න මුදලක අලාභයක් සිදු කර ඇති බවත් එම මුදල කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගෙන් අයකර ගත යුතු බවට කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක සුමේධ අරුණශාන්ත එම සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නාමල් කරුණාරත්න බුවනෙකබා රාජ සභා මණ්ඩපය වෙත පැමිණ නිරීක්ෂණයක නිරත වූ අතර, අනතුරුව එම යෝජනාව සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.








