ඥාති සහෝදරිය ඝාතනය කළ අයෙක් සොයා විමර්ශන

ගලකින් ගසා ඥාති සහෝදරිය ඝාතනය කළ බව කියන තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අහුංගල්ල පොලිසිය පවසනවා.

අහුංගල්ල පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේදී ඊයේ (31) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බවත් පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට කරුණු අනාවරණය වන බව පොලිසිය සඳහන් කරනවා.

සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ද පොලිසිය පවසනවා.

දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකරු කාන්තාවකට ගලකින් පහරදී ඇති බවත් එහිදී බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ එම කාන්තාව මරණයට පත්ව ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 43ක් වන අහුංගල්ල පාතේගම පදිංචි කාන්තාවක්.

සැකකරු මරණකාරියගේ ඥාතියෙකු වන අතර, මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද පොලිසිය පවසයි.