STC හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා ඇප මත මුදා හරියි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2015 වසරේදී අදාල සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරමින්, කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා (කොකුන්) 50 ක් ආනයනය කිරීම මඟින්, සංස්ථාවට රුපියල් 99,679,799.70 ක පාඩුවක් සිදුකිරීම හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයන්ට සලසාදීම තුලින් ‘දූෂණය’ නමති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.