සුරාබදු නිලධාරීන් 05 ක් CID අත්අඩංගුවට

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකකින් රුපියල් 102,000,000 ක් කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මඟින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය ජුනි 05 වැනිදා මෙම සැකකරුවන් විසින් නීත්‍යානුකූල වැටලීමක් සිදු කරන ආකාරයෙන් අදාළ රන් භාණ්ඩ වෙළෙඳසැල් දෙකට පැමිණ, එම වෙළෙඳසැල්වලින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සහ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව, ඉන් සිව් දෙනෙකු සතුව නීති විරෝධී ලෙස ගෙන්වූ දුම්වැටි තිබූ බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, අනතුරුව සිය භාරයට ගත් මුදලින් රුපියල් කෝටි 05 ක් නැවත ඔවුන්ට ලබා දී ඇති බවට ද මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන අවුරුදු 30 – 46 අතර වයස්වල පසුවන කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.