වෛද්‍යවරුන්ගේ වර්ජනය අද දහවල් 12.00 දක්වා කල් දමයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු වැඩ වර්ජනය අද (31) දහවල් 12.00 දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (30) රාත්‍රියේ සාකච්ඡාවක් පැවති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

එහිදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිළිගත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් අත්හිටුවීමටත්, ඒ වෙනුවට පිළිගත් ක්‍රමවේදය හරහා කාල රාමුවක් සහිතව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමටත් එකඟ වී ඇති බවද සඳහන්.

එමෙන්ම, එම එකඟතාවන්, අද දින පැවැත්වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී තහවුරු කිරීමටද එකඟ වී ඇති අතර, එම එකඟතාවන් සලකා බලමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවේදී අදාළ එකඟතාවන් තහවුරු කර ලිඛිතව ලැබෙන තුරු අද පෙරවරුවේ ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩ වර්ජනය දහවල් 12.00 දක්වා කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම එකඟතා ක්‍රියාත්මක නොවන්නේ නම්, ඕනෑම මොහොතක නැවත වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ.