දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වැඩිදියුණු කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයයි – අගමැතිනිය

දරුවන් හිංසනයෙන් වළක්වා ගැනීම, අනාරක්ෂිත දරුවන්ගේ රැකවරණය හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලක් අවශ්‍ය බවත්, නිසි නියාමනයකින් යුක්තව දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වැඩි දියුණු කිරීම රජයේ පරමාර්ථය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පොදු මහජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින අතර, මෙම අහිතකර බලපෑම අවම කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම උදෙසා, මත්ද්‍රව්‍ය ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කිරිම සඳහා වගකීම දරණ සියළුම රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් “බහු පාර්ශවීය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය වැඩසටහන” ආරම්භ කෙරුණා.

ඒ අනුව එම වැඩසටහනෙහි තෙවන සාකච්ඡාව අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අතර, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය, කාන්තා හිංසනය වැළැක්වීම, ළමා අපචාර වැළැක්වීම, අනාරක්ෂිත දරුවන්ගේ රැකවරණය යන මේ සියලු කාරණා පොදු වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක විය යුතු බවද, මෙම වැඩ පිළිවෙළට ගැලපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.