BYD ගැටළුව කඩිනමින් විසඳන්න – අභියාචනාධිකරණය රේගුවට දන්වයි

රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර දීම ඉතා වැදගත් වනවා සේම වාහනවල ගැනුම්කරුවන්ගේ මෙන්ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන්ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

දැනට රේගුව විසින් රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද අභියාචනාධිකරණය රේගුවට නියම කළා .

මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත් ඒ සඳහා සහාය ලබාදෙන ලෙස පෙත්සම්කර පාර්ශ්වයටත් විනිසුරුවරයා දැනුම් දුන්නා.

රේගුව විසින් රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සීජී සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මෙලෙස ප්‍රකාශ කළා.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වනවිට රඳවාගෙන සිටින වාහන සමාගම් ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව ඇතැයි ද සඳහන් කළා.

පෙත්සම්කාර සමාගම විසින් මෙරටට ගෙන්වනු ලැබූ වාහන පරීක්ෂණ ස්කෑන් යන්ත්‍ර පිළිබඳ වාර්තාවක් ලබන සඳුදා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් රේගුව විසින් මෙම වාහන රඳවාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බව කියා සිටියා.