ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු ගිනි අවියක් රැඳවියෙක් විසින් සොරා ගනියි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් ඊයේ (29) පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට එක් බන්ධනාගාර රැඳවියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත, ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සඳහා ඊයේ දිනයේදී රැඳවියන් තිදෙනෙකු පැමිණ තිබෙනවා.

ඉන් එක් රැඳවියකු අධිකරණයේ නඩු භාණ්ඩ රඳවා ඇති ගබඩාව පිරිසිදු කිරීමේ දී 9mm වර්ගයේ උණ්ඩ රහිත ගිනි අවියක් රැගෙන බන්ධනාගාර බස් රථයට ගොඩ වී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත බන්ධනාගාරය වෙත යාමට අධිකරණ භූමියෙන් පිටත්ව ගොස් තිබෙන අතර, එහිදී නඩු කටයුත්තක් සඳහා අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බන්ධනාගාර රැඳවියකුගේ පිටුපස අසුනේ පිස්තෝලය සොරාගත් රැඳවියා ද අසුන් ගෙන තිබෙනවා.

එහිදී අදාළ රැඳවියා සතුව යම් පාර්සලයක් තිබෙන බව බන්ධනාගාර බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දැක ඇති අතර, ඒ අනුව සිදු කළ පරීක්ෂා කිරීමේදී අදාළ ගිනි අවිය හමු වී තිබෙනවා.

ඉන් අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත අධිකරණය වෙත පැමිණ, අධිකරණයේ පොලිස් නිලධාරීන්ව දැනුවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.