ඔහුට හෘදය වස්තුවේ රෝගී තත්ත්වයක් තිබෙනවා වෙනත් මාර්ගයකින් තමයි ඔහුගේ හෘදයට ලේ ගමන් කරන්නේ, රනිල්ගේ නීතීඥයින් අධිකරණයට කියයි

බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ පැහැදිලි කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මෙලෙස සඳහන් කළා.

“ස්වාමීනී.. මෙම සැකකරුට ඇප ලබා දීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කළා. මෙම විමර්ශනයට අදාළව එවක බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරිය වශයෙන් කටයුතු කළ සරෝජා සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙනවා. මෙම සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා තමා කියුබාවේ සහ ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට පැමිණි බව. එය නිල සංචාරයක් වශයෙන් ඔහු සඳහන් කර තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඒ සඳහා අදාළ විමර්ශන වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි සඳහන් කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ තමා මෙම නඩු ගොනුවේ සිද්ධිමය කරුණු ගැන අධ්‍යනය කර තිබෙන බවත් එම නිසා මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා “මෙම සැකකරු බ්‍රිතාන්‍ය සංචාරයේදී සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල රුපියල් මිලියන 16කට අධික මුදලක් වැය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස ප්‍රකාශ කළා.

“පසුගිය නඩු වාරයේදී දැඩි සත්කාර ඒකකයේ සිටි මේ සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව වෛද්‍යවරු හය දෙනෙකුගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එම වාර්තාවේ සඳහන් කර තිබුණා මේ සැකකරුගේ හෘද වස්තුවේ ධමනි මියගොස් තිබෙන බව. කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ විජේසිංහ මහතා විසින් එම වාර්තාව යොමු කර තිබුණා. මේ වාර්තාව අධිකරණයට ආවේ කොහොමද? සැකකරු සම්බන්ධයෙන් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා අධිකරණය නියෝගයක් නිකුත් කළේ නෑ. අධිකරණ නියෝගයක් නැතිව එහෙම වාර්තාවක් උසාවියට ආවේ කොහොමද? මෙහෙම වාර්තාවක් ආවාම ඒක අධ්‍යනය කරන්න පැමිණිල්ලට ලබාදිය යුතුයි. නමුත් මේ වාර්තාව අධ්‍යයනය කරන්න අපට අවස්ථාව ලබා දුන්නේ නෑ. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ වාර්තාවක් කැඳවන්න පුළුවන්ද? සාමාන්‍ය පුද්ගලයෙක් මෙහෙම වාර්තාවක් ඉල්ලුවොත් වෛද්‍යවරු කියයි අධිකරණ නියෝගයක් අරන් එන්න කියලා. මේ සැකකරුගේ නීතිඥවරුන්ගේ අනුග්‍රහයෙන් තමයි මේ වාර්තාව අධිකරණයට ආවේ. මේක රජයේ මුදල් අවභාවිතා කිරීමක් පමණක් නෙවෙයි අධිකරණ බලයත් අවභාවිතා කිරීමක්” යනුවෙන් සඳහන් කළා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්” ඔබ මෙම සැකකරුගේ ඇප නියෝගය යළි සමාලෝචනය කරන්න කියලා ඉල්ලීමක් කරනව ද?” යනුවෙන් විමසුවා.

ඊට පිළිතුරු දුන් දිලීප පිරිස් “ඔව් ස්වාමීනී… මේ සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතුයි. එදා අපි ඉල්ලීමක් කළා දැඩි සත්කාර ඒකකයේ සිටින මේ සැකකරුගේ රෝගී තත්ත්වය ගැන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍යවරු තුන්දෙනෙකු මාර්ගයන් පරීක්ෂණයක් කළ යුතු බව. අදත් අපි ඒ ඉල්ලීම කරනවා. මොකද රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුව මේ සැකකරු පැයක්වත් බන්ධනාගාරයේ හිටියේ නැහැ. රිමාන්ඩ් කළ පසුව ජාතික රෝහලේ වාට්ටුවකට ඇවිල්ලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණා. මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ තඩි පොතක් තියාගෙන කියවනවා ඡායාරූපවලින් දක්වා තිබුණා. ස්වාමීනි… දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්න තරම් රෝගී තත්ත්වයකින් පසුවන පුද්ගලයෙකු පොතක් කියවන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දැඩිසත්කාර ඒකකයෙන් නිදහස් කළ රෝගියෙකු ඊළඟට ඇතුළත් වන්නේ සාමාන්‍ය වාට්ටුවකටයි. නමුත් මේ සැකකරු දැඩිසත්කාර ඒකකයෙන් නිදහස් වූ ගමන් ඇවිදගෙන ගෙදර යනවා. ඇප ලබා ගැනීම සඳහා ම තමයි ඔහු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් වෙලා තිබෙන්නේ. මොකද සැකකරුගේ නීතිඥවරු අධිකරණය ඉදිරියේ මතයක් නිර්මාණය කළා, මේ සැකකරු මරණාසන්න තත්ත්වයෙන් පසු වෙනවා කියලා. දැඩිසත්කාර ඒකකවල ඡායාරූප ගන්න පුළුවන්ද? සෙල්ෆි ඡායාරූප ගන්න පුළුවන්ද? නමුත් මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ දී ලබාගත් ඡායාරූප නිකුත් වෙලා තිබෙනවා. ඒවා අහම්බෙන් ගත්ත ඡායාරූප නෙවෙයි. හිතා මතා ම කැමරාවට මුහුණ දී ලබා ගත්ත ඡායාරූප බව සඳහන් කළ යුතුයි. මෙවැනි ක්‍රියා නිසා මහජන විශ්වාසය බිඳ වැටෙනවා.” යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම සැකකරුට ඇතැයි කියන රෝගී තත්ත්වයන් පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවත් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “ස්වාමීනි බ්‍රිතාන්‍ය පෞද්ගලික සංචාරයක නිරත වෙමින් මෙම සැකකරු පැය තිස් හයකට රුපියල් මිලියන 16 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. මෙම සැකකරු 2022 වසරේ ජූලි මස 11 වන දා සිට 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරයෙකුගේ මූලික වැටුප රුපියල් 97,500ක් පමණයි. ඒ අනුව ඔහු ධූරයේ සිටි කාලය තුළ රුපියල් 2,540,947.00 ක් මුදලක් වැටුප් වශයෙන් ලබාගෙන තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍ය සංචාරයේදී පැය තිස් හයකට රුපියල් මිලියන 16 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. ඒ කියන්නේ පැයකට ඔහු විසින් වැය කළ මුදල රුපියල් 450,000.00 ක්. විනාඩියකට රුපියල් 7500 මුදලක් වැය කර තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් “මේ සැකකරු කියුබාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වීමෙන් පසුව තමයි එංගලන්තයට ගියේ. ඔහු බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට අමතරව වැදගත් නිල උත්සවයකට සහභාගි වුණා. ඒ පොල් ස්වරාජ් සාමිවරයාගේ උත්සවයකට සහභාගී වී තිබෙනවා. නිල ආරාධනයකට අනුවයි ඔහු මේ සංචාරයේ නිරත වුණේ. අද පොලිසියට මේ සැකකරුට විරුද්ධව ප්‍රමාණවත් කාරණා හොයා ගන්න බැරි වීම නිසා තමයි ඔහුගේ ඇප නියෝගය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ. අපි ඉල්ලීමක් කරනවා මේ සිද්ධියේ සත්‍ය හොයන්න කියලා. පොලිස් කණ්ඩායමක් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා හරි මේ කරුණට අදාළ සත්‍ය සොයාගත යුතුයි. මොකද ඔහුට අදාළ විශ්වවිද්‍යාලයෙන් ආරාධනා කරන ලිපියක් අපි පොලිසියට ඉදිරිපත් කළා. එහෙත් එවැනි ලිපියක් තිබියදී තමයි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ. මේක හරිම අසාධාරණයි. ඔහු අවුරුදු පනහක පමණ අත්දැකීම් තිබෙන නීතිඥවරයෙක්. ඔහු රුපියල් මිලියන 16 කට වඩා වැඩි සේවයක් කරලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කළා.

එහිදී වැඩිදුරක් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් “ස්වාමීනි… ඔහු අවුරුදු පනහක් සේවය කරපු නීතිඥවරයෙක් කියලා නම් කියන්න බෑ. ඔහු හිටපු ජනාධිපතිවරයෙක්. ඔහු විසින් නිල ආරාධනාවක් කළ බවට ඉදිරිපත් කරන ලිපිය කූට ලේඛනයක් හැටියට අපි තවමත් කියනවා. ඔහු මරණාසන්න රෝගී තත්ත්වයකින් පසු වන බව කියල තමයි ඇප ලබාගත්තේ. ඉන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගත්තද? ශල්‍යකර්මයක් කළාද?” යනුවෙන් ප්‍රශ්න  කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන “ප්‍රතිකාර ලබා ගත්තා ස්වාමීනි. ඔහුගේ හෘදය වස්තුවේ රෝගී තත්ත්වයක් තිබෙනවා. වෙනත් මාර්ගයකින් තමයි ඔහුගේ හෘදයට ලේ ගමන් කරන්නේ” යනුවෙන් ප්‍රතිචාර දක්වා සිටියා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා “මෙම සැකකරුට පූර්වගාමී මහේස්ත්‍රාත්තුමිය විසින් ලබා දුන් ඇප නියෝගය පිළිබඳව යළි සළකා බැලීමක් සිදු කරන්නේ නෑ. පූර්වගාමී මහේස්ත්‍රාත්තුමිය මෙම ඇප නියෝග නිකුත් කර තිබෙන්නේ ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වූ පසුවයි. වෛද්‍ය වාර්තා නිවැරදි නම් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙන්නේ නෑ. නමුත් මේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් පැමිණිල්ල අද අධිකරණයේ කරුණු ඉදිරිපත් කළා. ඒ නිසා මේ සැකකරුට ඇප ලබා දීමට පාදක කරගත් වෛද්‍ය වාර්තාව තුළ මොහුට ඇති රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව එය ලබා දුන් වෛද්‍යවරු ඔවුන්ගේ මතය පැහැදිලි කළ යුතුයි..”යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මේක සංකීර්ණ විමර්ශනයක් නෙවෙයි. විමර්ශන කඩිනමින් අවසන් කිරීමට හැකියාවක් තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා මෙම නඩුවේ සැකකරුවෙක්ද? යනුවෙන් පැමිණිල්ලෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා “ස්වාමීනී සියලු විමර්ශන අවසන් වීමෙන් පසුව තමයි ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නේ” යැයි ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මීළඟ දිනයට පෙර විමර්ශන අවසන් කර ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ යුතුයි. තවදුරටත් සැකකරුවන් සිටීනම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මෙම සැකකරුගේ සංචාරය නිල සංචාරයක් ද නැත්නම් පෞද්ගලික සංචාරයක්ද කියලා අදාළ අංශ වලින් තොරතුරු ලබාගෙන විමර්ශනය කළ යුතුයි. ඒ මත තමා මේ නඩුව පවත්වාගෙන යන්න පුළුවන්ද? කියන කාරණයක් තීන්දු වෙන්නේ” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා “මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දින අධිකරණයේ අවට සිදුවූ සිදුවීම් හා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට අපහාසයක් සිදුවී තිබේදැයි කරුණු වාර්තා කරන ලෙස මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන පවත්වා අදාළ ක්‍රියා වලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේද? එවැනි අපහාසයක් සිදු කළේ කවුද? සහ ඒ සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියා මාර්ගය මීළඟ දින අධිකරණයට දැනුම් දිය යුතුයි” යනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පැමිණිල්ල නැවත ජනවාරි මස 28 වැනිදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.