හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව එළැඹෙන ජනවාරි 28වනදා යළි කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළේය.

අදාළ නඩුවට පෙනී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් අධිකරණයට පැමිණියේය.

එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ  සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන  ලෙසය.

එමෙන්ම ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

ඉන් අනතුරුව අදාළ නඩුව 2026 වසරේ ජනවාරි 28 වනදා කැඳවීමට ද නියම විය.