සිර දඬුවම් නියම වූ එස්.එම්. රංජිත්ගේ ඇප ඉල්ලීම නොවැම්බර් 28 සලකා බැලීමට දින නියම කෙරේ

බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින්, ඔහු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඉල්ලීම නොවැම්බර් මස 28 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.

මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී සිර දඬුවම් නියම වී සිටින හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම නඩුව හා සම්බන්ධ භාණ්ඩ හා ලේඛන කොළඹ මහාධිකරණ අංක හතර ශාලාවේ පවතින නඩුව හා ගොනුවක් හා සම්බන්ධව පවතින බව දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන් අතර, ඉන් අනතුරුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ සලකා බැලීම සඳහා අදාළ පෙත්සම නොවැම්බර් මස 28 වැනිදා කැඳවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

2012 සැප්තැම්බර් 27 සහ 2014 දෙසැම්බර් 31 අතර කාලසීමාව තුළ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස එස්.එම්. රංජිත් කටයුතු කරමින් සිටිය දී, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන නමැත්තියට වැටුප සමඟ ඉන්ධන දීමනාවක් එක් කර තිබිය දී, නීති විරෝධී ලෙස ඉන්ධන ඇණවුම්පත් මඟින් රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබාදීම, එසේ ලබා දීමට රජයේ නිලධාරීන් පෙලඹවීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 06 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය, විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 16 බැගින් වූ සිර දඬුවම් නියම කළා.

එම දඬුවම්වලට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර, එම ඇපෑල විභාග කොට අවසන තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් විත්තිකරුවන් මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.