මේ වසර සඳහා නියමිත සියලුම මූල්‍ය ඉලක්ක ඉක්මවීමට හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එවැන්නක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.
ඒ අනූව ආදායම, වියදම, ප්‍රාථමික අතිරික්තය සහ සමස්ත මූල්‍ය හිඟය ඇතුළුව මේ කටයුතු සිදුවනු ඇති බවයි සඳහන්.
වාහන ආනයන බදු ආදායම මෙහි ප්‍රධාන සාධකය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ, රජය සිය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී වාහන ආනයනය සහ එමගින් ලැබුණු බදු ආදායම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බවයි.
“වැඩි වූ වාහන ආනයනය හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි ආදායමක් රජයට රැස් කර ගැනීමට හැකි වුණා. ඇත්ත වශයෙන්ම, රජය සිය ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා,” යනුවෙන් ආචාර්ය වීරසිංහ ‘2025 මූල්‍ය ස්ථායිතා සමාලෝචනය’ මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පැවසුවා.
නන්දලාල් වීරසිංහ සඳහන් කරන පරිදි, දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් ලෙස ප්‍රාථමික අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ආදායම හා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කරන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සමස්ත මූල්‍ය හිඟය යන ප්‍රධාන මූල්‍ය ඉලක්ක තුනම රජය ඉක්මවා යමින් තිබෙනවා.
“මූල්‍ය කාර්ය සාධනයේ කෝණයෙන් බලන විට, ඉලක්ක කළ දේට වඩා වැඩි යමක් අප විසින් අත්පත් කර ගන්නා පළමු අවස්ථාව මෙයයි,” ආචාර්ය වීරසිංහ අවධාරණය කරනවා.
මේ අතර, වසර පහකට පසු පෙබරවාරි මාසයේදී වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග මුලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාවට 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වැය විය හැකි බවයි මහ බැංකුව පවසන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මීට පෙර කළ ප්‍රකාශයක් ද අනුමත කරමින් ආචාර්ය වීරසිංහ පැවසුවේ, වාහන ආනයනය සඳහා වන ඉහළ වියදම බාහිර අංශයේ ස්ථාවරත්වයට තර්ජනයක් නොවන බවයි.
එමෙන්ම “යළි විවෘත කිරීමෙන් පසු ඇති වූ ආරම්භක ඉල්ලුමේ වැඩිවීම දැන් අඩුවෙමින් පවතිනවා,” යැයිද ඔහු පැවසුවා.
මේ අනූව ලබන වසරේදී සාමාන්‍ය මට්ටමේ ආනයන අපේක්ෂා කරන බවත්, ගෙවුම් ශේෂයට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන බවත් මහ බැංකුව අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර වාහන ආනයනකරුවන් ද වාර්තා කර ඇත්තේ ආනයනය යළි ආරම්භ කළ මුල් දිනවල පැවති මිල ගණන් මේ වන විට ලිහිල් වීමට පටන් ගෙන ඇති බවයි.








