අස්වැසුම වැඩසටහනට තෝරා ගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව ලෝක බැංකුව අවධාරණය කරයි

‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරා ගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව ලෝක බැංකු නියෝජිතයන් අවධාරණය කර තිබෙනවා.

ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට තමන් සූදානම් බව ද ඔවුන් පවසා තිබෙනවා.

ලෝක බැංකු නියෝජිතයන් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහජන නියෝජිතයන් සමග පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවති ඒකාබද්ධ රැස්වීමකදී මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම ඔස්සේ සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හා පවුල් හඳුනාගත හැකි බවත්, සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ අදාළ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලත් පිරිසක් නොවන බවත්, එම ඇතුළත් කර ඇති දත්ත පරීක්ෂා කර බලා අදාළ ප්‍රතිලාභ අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනා ගැනීම සිදු කළ හැකි බවත් එම නියෝජිත පිරිස අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, මෙම සමාජ ආරක්ෂණ පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බවද, ඒ හේතුවෙන් එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද ඔවුහු තවදුරටත් අවධාරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.