තායි රාජා සහ කණ්ඩුල නැවත ගෙන යන්න සැලසුමක් නැහැ – තායිලන්ත තානාපති

තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ ‘තායි රාජා’ හා ‘කණ්ඩුල’ ඇත්තු යළි එරටට රැගෙන යාම සඳහා රාජ්‍ය මට්ටමින් කිසිදු අවධානයක් මෙතෙක් යොමුව නැතැයි තායිලන්ත තානාපතිවරයා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත දැනුම් දී තිබෙනවා.

මේ වනවිට ඒ සම්බන්ධ‍ෙයන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිවල සත්‍යතාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

තායිලන්ත තානාපතිවරයා මේ බව පවසා තිබෙන්නේ මල්වතු මහා විහාරයේ කඨින චීවර පූජාවට ඊ‍යේ (25) පැමිණි අවස්ථාවේ තායි රාජා හා කණ්ඩුල ඇත්තු සම්බන්ධයෙන් පැතිර යන කතාව පිළිබඳව මල්වතු මහනාහිමියන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිනි.

මේ වනවිට ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන තායි රාජා සම්බන්ධයෙන් තායි රජය කිසිදු විමසීමක් සිදුකර නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කරනවා.

මුතුරාජා ඇතා රැගෙන යාමෙන් පසු මේ වනවිට මෙරට සිටින තායිලන්ත ඇතුන් දෙදෙනාගෙන් එකකු වන ‘තායි රාජා’ ගේ සෞඛ්‍ය තත්ත්වය තම අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවත් එම ඇතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල කියනවා.

තායිලන්ත වෛද්‍යවරු පවා මෙරටට පැමිණි අවස්ථාවල ‘තායි රාජා’ බැලීමට පැමිණි බවත් ඇතාගේ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔවුන් පවා තහවුරු කර තිබෙන බවත් ඔහු පවසනවා.

ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් මේ මොහොතේ කතා බහක් ඇති වූයේ ඇයි ද යන්න පිළිබඳව තමන් නොදන්නා නමුත් විටින් විට මෙම කතිකාව රටේ ඇතිවන බවක් පෙනෙන්නට තිබෙන බව ද හෙතෙම අවධාරණය කරනවා.

මේ වනවිට මෙරට සිටින හීලෑ අලි සංඛ්‍යාව 100 කට අඩු බවත් ඒ අතර ඇතුන් සිටින්නේ 15 ක් පමණක් බවත් කී දංගොල්ල, සංස්කෘතික මංගල්‍යයන් සඳහා ප්‍රමාණවත් අලි ඇතුන් නොමැති වීම බරපතළ ගැටලුවක් බවද අවධාරණය කරනවා.

වනඅලි විශාල සංඛ්‍යාවක් සිටින නිසා අවශ්‍යතාවක් ඇත්නම් සංස්කෘතික මංගල්‍යයන් සඳහා අවශ්‍යය අලි ඇතුන් මෙරට වන අලි ගහණයෙන්ම සපුරා ගැනීමට හැකි බව ද ඔහු පවසනවා.