අපරාධවලට නම් කිසිම ඉඩක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා පුද්ගලයින් 6,127,138 දෙනකු විවිධ පරීක්ෂා කිරීම්වලට ලක්කළ බවත් මෙයින් පුද්ගලයින් 5414 දෙනකු සෘජුවම අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ලෙස හඳුනාගත් බවට හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යූ. වුට්ලර් අද (26) පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 56,365ක් බවත්, විවෘත වරෙන්තු 37,607 ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කිසියම් පුද්ගලයකු සමාජ විරෝධී, නීති විරෝධී නැතහොත් අනීතික ලෙස යම් අපරාධයක් කිරිමට සැලසුම් කරන්නේද, කුමන්ත්‍රණය කරන්නේද ඒ සදහා කිසිදු ඉඩප්‍රස්ථාවක් ලබා නොදෙන බවද ඔහු පැවසුවා.