අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගුරු – විදුහල්පතිවරුන්ගෙන් යළිත් රතු එළි

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සිය තීරණ වෙනස් නොකරන්නේ නම් ලබන වසරේ නව පාසල් ආරම්භයට පෙර සියළු ගුරුවරු ඒකරාශි කරගනිමින් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිතිය පවසනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කිරීමට මෙන්ම ළමුන් 50ට අඩු පාසල් වසා දැමීමට යෝජනා වී තිබෙනවා.

ගුරු විදුහල්පති වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයන් හමුවේ දරුවන් දැඩි පීඩාවට පත් වන බවයි.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං පෙන්වා දෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සිය තීරණ වෙනස් නොකරන්නේ නම් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව මැයෙන් අධ්‍යාපන කලාපවල ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, වට්ස්ඇප් සමූහ ජාලයක් පවත්වා ගෙන යන බවට නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම වට්ස්ඇප් සමූහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි කිසිදු වගකීමක් නොදරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.