“අද රටේ තියෙන්නේ මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක්” – සජිත්

අද රටතුළ ඇත්තේ සංවර්ධනය වන සංස්කෘතියක් නොව මිනිස් ජීවිත විනාශ කරන පාතාල සංස්කෘතියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද උතුරු කොළඹ ලුණු පොකුණ ප්‍රදේශයේ පැවැති ජන හමුව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන හා එක්වෙමින්.

මෙරට ජනතාව ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වී 76 වසරක් රට විනාශ කරපු රටාව වෙනස් කරනවා යැයි පවසමින් ජවිපේ ආණ්ඩුවක් ගෙන ආ බවත් අද මේ තරම් බලතල තබාගෙනත් ජනතාවගේ ගැටලු විසඳන්න බැරි ඇයි දැයි විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.

එමෙන්ම, ආණ්ඩුවේ බොරු කයිවාරු නවතා කියූ ආකාරයට වැඩකළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියා.

රටේ සංවර්ධන කටයුතු අනන්තයත් තිබියදී වත්මන් රජය ඒවා පසෙකල රට තුළ පාතාල සංස්කෘතියක් ඇති කර මිනීමරන සංස්කෘතියක් ඇතිකර ජීවිත හානි සිදුවන දැවැන්ත මිලේච්චත්වයකට සමාජය ගොදුරු කර ඇති බවත් අද වන විට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට හෝ මන්ත්‍රීවරුන්ට මහජන දිනයක්වත් තැබීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ජවිපෙ මන්ත්‍රීවරුන්ට නම් මහජන දින පවත්වන පුරුද්ද නැති බවත් ඔවුන් ජනතාව රවටා රටට දුන් එකම දායාදය වන්නේ මිලේච්ඡත්වය ඝාතන සංස්කෘතියක් බවත් මේ සෑම ඝාතනයක් පිටුපසම මේ මිනිමරු සංස්කෘතියට දොරටු විවර කර දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළි ගන්නා බවත් වැලිගම සභාපතිවරයාගේ ඝාතනය එයට උදාහරණයක් බවත් ඔහුගෙන් සභාපතිකම උදුරා ගන්න අවස්ථා ගණනාවක් උත්සාහ කළ බවත් බොරු රඟපෑම් ඉදිරිපත් කර සභාවේ වැඩකටයුතුවලට බාධා කළ බවත් ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වුවත් ආරක්ෂාව නොදුන් බවත් මෙවැනි තත්ත්වයක් උඩ මහජන නියෝජිතයන්ගේ ද ජීවිත අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

මහජන නියෝජිතයන්ට කනත්තේ සිට ජනතා සේවය කළ නොහැකි බවත් ජනාධිපතිවරයාගේ වගකීම ජනතාවගේ ජීවිත රැක ගැනීම බවත් එය කළ යුතු බවත් මේ පාතාලය මර්දනය කළ යුතු බවත් පාතාලය නැති කරනවා කියා මහජන නියෝජිතයන් මරා දැමිය නොහැකි බවත් අද රටේ ඇත්තේ කැළෑ නීතිය බවත් එයට ඉඩදිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.